Home » හිඟ අරක්කු බද්ද

හිඟ අරක්කු බද්ද

by mahesh
October 4, 2024 1:00 am 0 comment

මිනිස් ජීවිතයේ අනිවාර්ය අංග දෙකක් ඇතැයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් පැවැසුවේය. මරණය ඉන් එකකි. අද මේ තීරුවේ මාතෘකාව අනෙකය.

බදු පිළිබඳ මානව සක්‍රියතාව ඇති වන්නේ හෙතෙම සංවිධිත රාජ්‍ය ස්වභාවයක් සඳහා අනුගත වූ කල්හිය. රාජ්‍යයක් ලෙස සමාජයක් සංවිධානගත වීමට පෙර පාලකයා වූයේ හයිය හත්තිය ඇති එකාය. එවන් මැරයෙක් අවට ගමක් දෙකක් අල්ලාගෙන, සිය සහචරයන් සමඟ ගමේ සම්පත් සඳහා වගකීම, එකල ස්වභාවය විය. කප්පම් යන්න සහන සහිත යමක් නොවේ. බලහත්කාරී ප්‍රයත්නයකි. දරා ගැනීමට හැකි, නොහැකි වග කප්පම් ගන්නා වෙත ගැටලුවක් නොවේ. හෙතෙම තැත් දරන්නේ නරකින් හෝ සිය කලෙක්ෂන් එක පවත්වාගෙන යෑම පමණය. බදු යනු ඒ ආකාර බලහත්කාරයක් නොවේ. උපයන ප්‍රමාණය සහ අදාළ තත්ත්වයන් සලකා පනවන ලද්දකි. ඒ ආකාරයට බදු පනවන්නේ, රාජ්‍ය හෙවත් අදාළ සමාජයේ ක්‍රියාකාරීත්වය රැක ගැනීම සඳහාය. බදු වංචා යනු රාජ්‍යයෙන් සිදු කරන ගසා කෑමක් වන්නේ එහෙයිනි. නෛතික වශයෙන් තමන් ගෙවිය යුතු බද්ද සඳහා වංගු ගැසීමෙන් පහළ බසින්නේ, රටේ කොලිටිය හෙයින් බදු වංචාවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය බව මේ තීරුව අවධාරණය කරන්නේය.

බදු වංචා සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙකක් ඊයේ දිනමිණ සිය මුල් පිටුවෙන් වාර්තා කළේය. වසර 2023 – 2024 සඳහා වූ හිඟ සුරා බදු මුදල් මේ වසරේ නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන අරක්කු ෆැක්ටරි සඳහා යළි ලයිසන් ලබා නොදෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බව එක් පුවතකි.

පොලු තැබීම සඳහා අනගි පුහුණුවක් ලද අරක්කු නිෂ්පාදකයෝ දැනට රුපියල් කෝටි 1800ක හිඟ බදු මුදලක් රජයට ගෙවීමට ඇත්තේය. මේ ආකාරයට බදු ගෙවීම හිඟයක් බවට පත්ව ඇත්තේ, නැති බැරිකම, කර්මාන්තයේ අර්බුද ආදිය නිසා නොවේ. ගෙදර දරු මල්ලන්ගේ කෑම බීම ගැන නොසිතා මේ ගිනි වතුර උගුරෙන් පහළට හලා ගන්නා පිරිසක් රටේ වෙසෙන්නේ බැවින්, අරක්කු ව්‍යාපාරය යනු ෆැක්ටරියෙන් එළියට එන විටම, ඉල්ලුමක් ඇති දෙයකි. ඒ ආකාරයට විකුණා ලබන ලාභය සමාජයක් ලෙස දෙයාකාරයකට වංචනික වන්නේය. එකක් මේ නිෂ්පාදනය සහමුලින්ම ව්‍යසනයකි. අනික ඉන් ලබන ආදායම ද බදු නොගෙවා සාක්කුවේ දමා ගැනීමය.

මේ ආකාරයට අරක්කු නිෂ්පාදන බද්ද සඳහා හිඟයක් ඇති වන්නේ නිෂ්පාදකයන් වෙත ඇති බලපරාක්‍රමය හේතුවෙනි. අරක්කු නිෂ්පාදනය සඳහා ලයිසන් කොළයක් ලබා ගැනීමට ඇත්තේ සරල වැඩපිළිවෙළකි. එක දිගටම දේශපාලන බල අධිකාරියක් සමඟ සම්බන්ධයක් සහිතව වාසය කිරීම ඒ සඳහා ඇති පළමු කඩුල්ල ජය ගැනීමට ප්‍රමාණවත්ය. ඊළගට තම පක්ෂයේ සෑහෙන බරක් කරට ගැනීමය. ඡන්ද කාලයේ පමණක් මේ වැඩේ සිදු කර ගොඩයෑමට නොහැකිය. නායකයාගේ සිට දෙවැනි පෙළ දක්වා වූ සියල්ලන්ගේ වුවමනා එපාකම් සඳහා යහමින් මුදල් වෙන් කරමින්, මේ සාත්තුව ලබාදිය යුතුය. අනික් ආකාරය වන්නේ, ඇමැති මන්ත්‍රී ආදී පට්ටම් ලබාගෙන ඒ බලයෙන්, බලපත්‍රයක් ලබා ගැනීමය.

මෝටර් සයිකල් කටුවට බලපත්‍රයක් නැත්තේ නම් පොලිසිය ඒ මිනිසා වෙත දඩ ගසන්නේය. නැති බැරි අමාරුකම් ආදිය කියමින්, ශේප් එකක් ඉල්ලුවිට, ඒ සඳහා ද පොලිස් පාට් දමන්නේය. නැති බැරිකම නිසාම ඒ ආකාරයට රජයේ ආදායම දඩ ද සමඟ සාමාන්‍ය ජනයා ගෙවන්නේය. ඒ ගාස්තුව සහ අරක්කු සමාගම් තබන ලද බදු පොල්ල සැසඳීමට නොහැකි තරමේ දුරස්ථභාවයක් සහිතය.

මෙම බදු මුදල ලැබුණේ නම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුවෙන් කාලක් ආවරණය කර ගත හැක්කේය. පෙළපොත් මුද්‍රණය හා බෙදා හැරීම සඳහා රජය විසින් වසරකට දරන ලද වියදම රුපියල් කෝටි 450කි. බයක් නැතිව වසර හතරක් මේ මුදලින් ලංකාවේ සියලු දරුවන් සඳහා පාසල් පෙළ පොත් ලබාදීම කළ හැක්කේය. ගෙවීම මඟ හැර ඇත්තේ ඒ සා විශාල මුදලකි.

සෑම වසරකම ආරම්භයේදීම සුරාබදු දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක වැඩපිළිවෙළක් සකසන්නේය. මේ පිළිවෙළ අනුව, මාස තුනෙන් තුනට අරක්කු නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායක් තිබේ. මේ රටේ අරක්කු නිෂ්පාදන සමාගම් විසිහතෙහිම නියෝජිතයෝ ඒ සඳහා සහභාගි වන්නාහ. ඒ ආකාරයට ත්‍රෛමාසිකව හමුවී වුවද මේ ආකාරයේ බදු හිඟයක් පවතින්නේ, හේතු දෙකක් නිසාය. එකක් දඬුවම් නැති වීමය. අනික උඩ අත්තක හයිය සමාගම් වෙත ඇති බැවිනි.

අදාළ සමාගම් දේශපාලන හයිය අතට ගෙන, නිලධාරීන් සඳහා පාට් දමන විට, හිඟ බදු ගැන කතා කිරීමට පණට සහ රස්සාවට ආදරේ අයෙක් යන්නේ නැත. ඔය ආකාරයට වසර ගණනාවක් හිඟය ගොඩ ගැසී ඇති හෙයින් මේ සා විශාල බදු පොල්ලක් දැරීමට අපට සිදුව තිබේ.

අරක්කු සඳහා අය කරන බද්ද පිළිබඳ ගණනය උදෙසා රජය ස්ටිකර් ක්‍රමයක් හඳුන්වා දුන්නේ, ස්ටිකර් ගණන අනුව බෝතල් පිළිබඳ ඉලක්කම් ගත හැක්කේ බැවිනි. සුරාබදු දෙපාර්තමේන්තුවේ, නිලධාරී පන්තියක අධීක්ෂණය යටතේ අරක්කු නිපදවන්නේ වුවත්, සමාගම තුළට, ඒ සඳහා රජය වෙනුවෙන් යන නිලධාරියා යළි එළියට එන්නේ කොම්පැණියේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප හා සමාන ප්‍රමාණයක් ගෙන, සමාගමේ සේවකයෙක් බවට පත්වය. මේ හේතුවෙන් ස්ටිකර් ගණන බලා බද්ද තීරණය කිරීමට ආණ්ඩුව ක්‍රමවේදයක් සැකසුවේය. ඒ වෙනුවට ඉදිරියට ආවේ, ආණ්ඩුවේ ස්ටිකරය හොරට ගැසීමේ යන්ත්‍රණයකි. මේ ආකාරයට දිගින් දිගටම අරක්කු සමාගම තමන් ගෙවිය යුතු බද්ද සඳහා වංගු ගසන්නේය. මේ මළ ජරාව බී ලෙඩට පත්වන්නේ මේ රටේ ජනතාවය. ඒ සඳහා බෙහෙත් සහ සාත්තු සප්පායම් සඳහා වියදම් දරන්නේ ද රජයය. සමාගම් සිදු කරන්නේ අරක්කු විකුණා ලාභ ලබා, ඒ සඳහා ගෙවිය යුතු බද්ද නොගෙවා සිටීමය.

ඔය චක්‍රය තව කරකවා ගෙන යා යුත්තේ නැත. හිඟ බද්ද නියම කරන දිනට නොගෙවන්නේ නම් ලයිසන් කැන්සල් කළ යුත්තේමය.

සුරාබදු ආදායම් එක්රැස් කිරීම සම්බන්ධයෙන් සහ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිදු ආකාරයක බලපෑමක් හෝ අතපෙවීමක් හෝ සිදු නොකිරීමට නව රජය කටයුතු කරන බවට සහතික වී ඇතැයි සුරාබදු ජනරාල්වරයා, ප්‍රකාශ කර ඇත්තේය. එසේ නම් ඉතිරි හරිය ඇත්තේ ඔහුගේ අතේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT