Home » අමතක නොවන අත්දැකීම් රැසක් ගෙනෙන උදයකාන්තගේ “ගිනිඅවි සහ ගිනිකෙළි-2”

අමතක නොවන අත්දැකීම් රැසක් ගෙනෙන උදයකාන්තගේ “ගිනිඅවි සහ ගිනිකෙළි-2”

by mahesh
October 4, 2024 1:01 am 0 comment

නුවන් මහේෂ් ජයවික්‍රම

උදයකාන්ත වර්ණසූරියගේ අලුත්ම චිත්‍රපටය, ගිනිඅවි සහ ගිනිකෙළි – 2, දැන් දිවයින පුරා සිනමාහල් රැසකදී තිරගත කෙරේ. අපි දැන් එහි ඇතුළාන්තයට හැරෙමු. මුලින් අපි එහි අධ්‍යක්ෂ උදයකාන්ත හමුවෙමු.

උද­ය­කාන්ත වර්ණ­සූ­රිය

උද­ය­කාන්ත වර්ණ­සූ­රිය

‘මේ වන විට අතිශය ජනාදරයක් ලබමින් චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙනවා. ඉකුත්දා ඔස්ට්‍රේලියාවේදී එහි දර්ශන වාරයක් පැවැත්වුණා. තවත් රටවල් ගණනාවකදීත් ප්‍රදර්ශනයට නියමිතව තිබියදීයි, ඉකුත් 26 දා සිට, මෙරටත් ගිනිඅවි සහ ගිනිකෙළි – 2 චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරඹුණේ.

මෙරට පාතාලය හා මැර දේශපාලනය අලළා අනුර හොරේෂස් සති අග පුවත්පතකට පාතාලයෙන් බිඳක්, නමින් කළ ලිපි පෙළක් ඇසුරින් සරල වගේම ආවේගාත්මක ලිපි පෙළක් විදිහටයි මුලින්ම මං මේ කතාව දැක්කේ. මට එතැන් පටන් මෙහි බොහෝ ජවනිකා මැවී පෙනෙන්නට ගත්තා. ඒ තමයි මෙහි ඇරඹුම. ඊළඟ අභියෝගය වුණේ මේ වෙනුවෙන් දර්ශනතල සොයා ගැනීම. අනුර, බොරැල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, කොටියාගොඩ, හීනැටිකුඹුර වටපිටාව කරගෙනයි මේ ලිපි ලියා තිබුණේ. ඒ ප්‍රදේශ ආශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම්වල යෙදුණු පුද්ගලයන් ඔහුගේ ලිපි පෙළේ කතානායකයන් වුණා. ඒ අනුව දර්ශනතල සෙවූ අප, හම්මඩුව, එක් දර්ශනතලයක් වශයෙන් තෝරා ගත්තා. එහි හැමෝටම ඇතුළු වන්නටත් අවසර නැහැ. පාතාල සාමාජිකයන්ගේ අවසර, අනුදැනුම ඇතිවයි එහි ගියේ. දුගඳ හමන ඒ පරිසරයෙන් අත්දැකීම් ලැබුවා. ඒ එකක්. අනෙක, අනුර හොරේෂස්ටත් මටත් වතාවක් කොටියාගොඩ කසිප්පු තිප්පළක් බලන්න පාතාල සාමාජිකයන් සමඟ එකම ඔරුවකින් කිරළ ගාල් මැදින් ගිය ගමනත් අමතක නොවන අත්දැකීමක්. ඒ ගිහින් එද්දී අනුරට ලොකු දළඹු ප්‍රහාරයක් එල්ල වුණා. ඒ බලපෑමෙන් සිහිසුන් වූ ඔහු ඒ සියල්ල විඳගෙන මට දිරි දුන්නා. ඔහොමයි, ගිනිඅවි සහ ගිනිකෙළි හැදෙන්න අඩිතාලම වැටුණේ. ඒ චිත්‍රපටය ජනප්‍රිය වුණා.

ඒ අනුව එහි දෙවැන්න කරන්න කල්පනා කළ මම, විදෙස්ගතව සිටින අනුරට ඒ බව දන්වා යැවුවා. ඔහු මට ඊට පිළිතුරු වශයෙන් එවූ ලිපිය දුටු මට ලොකු සතුටක් දැනුණා. ඒ ඇසුරින් තිරපිටපත ලියූ මම, මේ වර්ෂයේ මාර්තුවේදී මේ චිත්‍රපටයේ වැඩ ඇරඹුවා. දින 40ක් තිස්සේ දර්ශනතල 80ක මෙහි රූගත කිරීම් කළා. ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි, ධනුක දිල්ශාන් මෙහිදී පාතාල නායකයන්ට පණ පොවනවා.

ඊළඟට, අපි ගිනිඅවි සහ ගිනිකෙළි චිත්‍රපටයේ අඩිතාලම වැටුණු තැන ඉඳන් මේ වනතෙක් කෙටියෙන් කිවුවොත්, මංජු කුඩා අවධියේදී කිතුනු පූජකවරයකු වීමේ සිහිනය ඇතිව හැදී වැඩුණෙක්. ඔහුගේ මව ඇඟලුම් කම්හල්වලින් ඉවතලන රෙදි කැබලි ගෙනැවිත් ඉන් ඇඳුම්, පාපිසි මසන්නියක්. ලකී ඒ ප්‍රදේශයේම වෙසෙන ඇඳුම් සොරකම් කරන්නෙක්. පසුව ප්‍රබල ඇමැතිවරයකුගේ අනියම් ආරක්ෂකයකු වන්නටත් මිතුරන්ගේ සහායෙන් ඔහුට හැකියාව ලැබෙනවා. මංජුගේ බාප්පා පැටී. ඔහු බන්ධනාගාරගතවයි ඉන්නේ. නිහාල් එහිම සිටින තවත් ප්‍රබල රැඳවූවෙක්. ප්‍රබල පාතාල අපරාධකරුවෙක්. ඉදිරියේදී අභියෝගයක් වෙතැයි සිතන පැටීව, බන්ධනාගාරය තුළදීම මැරවීමයි නිහාල්ගේ ඕනෑකම. ඔහුට ප්‍රබල ඇමැතිවරයකුගේ නොමඳ උදවු පදවු, කොන්ත්‍රාත් වැඩත් ලැබෙනවා. මේ අතර අපි කලින් සඳහන් කළ මංජුටත් තවත් ප්‍රබල ඇමැතිවරයකුගෙන් සහාය ලැබෙනවා. එය එසේ තිබියදී රටතුළ අවුල් වියවුල් උග්‍ර වෙනවා. ජන ජීවිතය අඩාළ වෙනවා. ඒ අතරතුර පාතාලයේ ඉරණම කුමක් වේද?

ඉසුරු ලොකුහෙට්ටි ආරච්චි, ලකී ඩයස්, ධනුක ඩිල්ෂාන්, රත්නා ලාලනී ජයකොඩි, කුමාර වඳුරැස්ස, රොජර් සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, ශ්‍රීමාල් වෙඩිසිංහ, අනුර හොරේෂස්, පාලිත සිල්වා, රංගන ප්‍රේමරත්න, ජගත් බෙනරගම, අනුර බණ්ඩාර රාජගුරු, නිමල් පල්ලෙවත්ත, රන්ජිත් රූබසිංහ, සුනීතා විමලවීර, රාජිත රොද්‍රිගු, සඳුන් බණ්ඩාර, නිමල් යටිවැල්ල, ප්‍රසාද් සූරියආරච්චි, භානු කොඩිකාර, මේනුක ප්‍රේමරත්න, නන්දන හෙට්ටිආරච්චි, කුසල් මධුරංග, අසංක පෙරේරා, තාරා කළුආරච්චි, අයේෂා මධුශානි, විරාජ් මාලිංග, දේශිත කාවින්ද, නවෝද් ලක්ෂාන් රංගනයෙන් එක් වෙනවා.

කැමරාවෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත, වේශ නිරූපණය නලින් ප්‍රේමතිලක, කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලක, ඇඳුම් නිර්මාණය ප්‍රියන්ත දසනායක, සංගීත අධ්‍යක්ෂණය චිත්‍රාල් සෝමපාල, නිශ්චල ඡායාරූපකරණය හා වීඩියෝ රූගත කිරීම්, ධම්මික පතිරත්න එක්වන ගිනිඅවි සහ ගිනිකෙළි – 2 චිත්‍රපටයේ නිෂ්පාදනයෙන් උදයකාන්ත වර්ණසූරිය, අනුර හොරේෂස්, කුමාර වඳුරැස්ස, මදුරංගි වැලිවිට, ඩන්ස්ටන් අතුල, ලතා වර්ණසූරිය, රුවන් දිසානායක, අශෝක ජයලත් එක්ව සිටිනවා.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT