Thursday, May 8, 2025
Home » පූජා භාණ්ඩ අතර සඟවා අලෙවි කළ විදේශීය සිගරැට් තොගයක් මාට්ටු

පූජා භාණ්ඩ අතර සඟවා අලෙවි කළ විදේශීය සිගරැට් තොගයක් මාට්ටු

by mahesh
October 4, 2024 1:00 am 0 comment

ගම්පොළ -සුරංග දිල්හාන්

ගම්පොළ නගරයේ පවත්වාගෙන යනු ලබන පූජා භාණ්ඩ වෙළෙඳසලක සිවුරු අට පිරිකර අතර සඟවා විකුණමින් තිබූ රුපියල් ලක්ෂ තිහකට අධික විදේශීය දුම්වැටි තොගයක් ගම්පොළ කොට්ඨාස අපරාධ අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ මේ සමඟ අත්අඩංගුවට ගත් මෙහි ප්‍රධාන සැකකරු විවිධ නීති විරෝධි වංචාවන් සිදු කරමින් ධනය උපයන්නකු බවයි.

රාජ්‍ය ආදායම් අහිමි කරමින් මේ ආකාරයට විදේශීය දුම්වැටි හොර රහසින් මෙරටට ගෙන එන මෙම පුද්ගලයා මෙයට පෙර රේගුවට හසුවීම මඟින් ඔහුට විශාල දඩ මුදලක් ද පනවා තිබූ බව පොලිසිය පවසයි.

මොහු විසින් පවත්වා ගෙන යනු ලබන පූජා භාණ්ඩ ව්‍යාපාරයට මුවාවෙන් මෙම සිගරැට් ව්‍යාපාරයද ඉතා පහසුවෙන් සිදු කරගෙන ගොස් ඇත්තේ බුදු දහමට ද නිගරු වන ලෙසය.

සිවුරු පිරිකර අතර සඟවා තබන සිගරැට් බන්ඩ්ල් (සිගරට් කාටූන්) එම පූජා භාණ්ඩ අලෙවි කරන ආකාරයට ඉතා ගෞරවනීය ලෙස සකස් කර (පාර්සල් කර) ලබාදීම සිදුකර ඇත්තේ මෙම වෙළෙඳසල ඉදිරිපිට රථ වාහන අංගණ රාජකාරි යෙදෙන පොලිස් නිලධාරීන්ට මෙන්ම නගරයේ රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට හෝ මහජනයාටද සැක නොසිතෙන ආකාරයට බවද හෙළි වී ඇත.

මෙම සැකකරු ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT