මන්නාරම් මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන අයුරින් පෝස්ටර් දැන්වීම් ඇලවූ බව කියන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනකු ලබන මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (03) නියෝග කළේය.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ලක්මාල් වික්‍රමසිංහ (41) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන එස්. බී.එච්. මනෝජ් මධුශංක (27) යන සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරන ලදි.
එසේම මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් හතර දෙනකු පිළිබඳ විමර්ශන කටයුතු සිදුකිරීමට පවතින බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළව විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව මේ වනවිට මාතලේ පදිංචි ඉශාන් ගුණසේකර, ඇරැව්වල පදිංචි ක්‍රිශාන් නාලක සහ මඩපාත පදිංචි මනෝජ් මධුශංක යන අය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සැකකරුවන් දෙදෙනා පෝස්ටර් මුද්‍රණය කර ළඟ තබාගෙන ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම උපාධිධාරීන් දෙදෙනා මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙවැනි ක්‍රියාවක් කළ බවට සැක පළ වී ඇති අතර කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව අසල අලුත්කඩේ මහාධිකරණය ආසන්නයේ, පැලවත්ත, බත්තරමුල්ල, ගල්කිස්ස වැනි ජනාකීර්ණ ප්‍රදේශවල මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන අයුරින් පෝස්ටර් දැන්වීම් අලවා ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.