Thursday, May 8, 2025
Home » ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට කැපවෙන සේවකයන් වෙනුවෙන් මා පෙනී සිටිනවා

ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට කැපවෙන සේවකයන් වෙනුවෙන් මා පෙනී සිටිනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක

by mahesh
October 4, 2024 1:00 am 0 comment

උපාලි කරුණාරත්න සහ ජයසිරි මුණසිංහ

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට කැපවෙන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙස ඊයේ (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී මේ බව පැවසීය.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු වන්නේ නැහැ.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තැබුවා. ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම බලපා තිබෙනවා.

එම නිසා කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම සඳහා ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරනවා. ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරනවා. එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී තිබෙනවා. රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස මා රකිනවා. රාජ්‍ය සේවකයින් ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැප විය යුතුයි.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අවශ්‍යයි. රාජ්‍ය සේවය තුළ මෙතෙක් පැවති දේශපාලන පළිගැනීම්, ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා නොදීම් වැනි ක්‍රියා මගේ ආණ්ඩුවක් යටතේ සිදු වන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් ද ජනතාව තෘප්තිමත් වන ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ඇති කිරීමට ක්‍රියා කළ යුතුයි.

ඉදිරි දින හතළිහක කාලය සංක්‍රාන්ති කාලයක් වන අතර එම කාලය තුළ රාජ්‍ය සේවාව බිඳ නොවැටී පවත්වාගෙන යාමට රාජ්‍ය සේවකයා කටයුතු කළ යුතුයි.

මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරනවා. එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළිගන්නේ නැහැ. රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT