Home » මීගමුව පොලිසියේ නිලධාරීහු උසාවියේදී රියැදුරුගෙන් සමාව ගනිති
වැරදීමකින් මහමඟදී පෙත්සම්කරුට මාංචු දාලා

මීගමුව පොලිසියේ නිලධාරීහු උසාවියේදී රියැදුරුගෙන් සමාව ගනිති

by mahesh
October 4, 2024 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

අත්අඩංගුවට ගත යුතු පුද්ගලයකු යැයි සිතා යුක්තිය මෙහෙයුම පවතින අතරතුර වැරදීමකින් නීතිඥවරියකගේ රියැදුරකුට මහ මඟදී මාංචු දමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිද්ධියට සම්බන්ධ මීගමුව පොලිසියේ නිලධාරීහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී එම රියැදුරාගෙන් කොන්දේසි විරහිතව ඊයේ (03) සමාව ගත්හ. දකුණු අතේ පච්චයක් තිබේද යන්න පරීක්‍ෂා කරමින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව එම රියැදුරා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෞද්ගලිකවම පෙනී සිටි පොලිස් නිලධාරීන් විසින් මෙසේ සමාව ගනු ලැබීය.

පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකාර පාර්ශ්වය අතර ඇති කරගත් සමථයකට අනුව මෙම සමාව ගැනීම සිදු කළ අතර ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කෙරිණි.

ප්‍රීතිපද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. මේ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් වන පොලිස් සැරයන් දිසානායක, ප්‍රේමරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන රත්නසිරි, සේනාධීර සහ නානායක්කාර මහත්වරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ගන්නා බව ප්‍රකාශ කළහ.

කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරා රාජපාන්ඩි නමැති රියැදුරකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි. පොලිස්පතිවරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මීගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රදීප් වීරසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබීය.

නීතිඥවරියකගේ රියැදුරකු වශයෙන් සේවය කරන පෙත්සම්කරු පසුගිය ජනවාරි 16 වැනි දින මෝටර් රථයෙන් මීගමුව දිස්ත්‍රික් අධිකරණයට ගොස් තවත් දෙදෙනකු සමඟ ආපසු පැමිණෙමින් සිටි අවස්ථාවේදී එම මෝටර් රථය ලුහුබැඳ ආ යතුරුපැදියක් මාබෝල ප්‍රදේශයේදී මඟ හරස් කර නතර කර ඇති අතර අනතුරුව තවත් යතුරුපැදි කිහිපයක් ද එම ස්ථානයට පැමිණ තිබේ. එහි සිටි සිවිල් ඇඳුමෙන් සැරසුණු පිරිස ‘අපි පොලිසියෙන්’ යැයි පවසමින් පෙත්සම්කරු බලහත්කාරයෙන් මෝටර් රථයෙන් බස්සවා පරීක්ෂා කර දෑතට මාංචු දැමූ බව ද පෙත්සමෙහි සඳහන් විය.

මෝටර් රථයේ සිටි තරුණියකගේ ජංගම දුරකතනයෙන් අදාළ නීතිඥවරියට මේ පිළිබඳ දැනුම් දීමට උත්සාහ කළ අවස්ථාවේදී එම ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගත් බව පෙත්සම මඟින් පෙන්වාදී තිබිණි.

පෙත්සම්කරුගේ දකුණු අතේ පච්චයක් තිබේ ද යන්න පරීක්ෂා කර එවැනි පච්චයක් නැති බව අනාවරණය වීමෙන් පසුව ‘ඒ පුද්ගලයා නෙවෙයි අපිට වැරදීමක්’ යැයි ඔවුන් පැවසූ බව ද පෙත්සමෙහි දැක්විණි.

අනතුරුව ඔවුන් යළිත් යතුරුපැදිවල නැඟී පිටත්ව ගිය අතර පසුව හෙළිවූ කරුණු අනුව මෙම පොලිස් නිලධාරීන් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් බව දැනගන්නට ලැබූ බව සඳහන් කෙරිණි.

මෙම සිද්ධියෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව තීරණය කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

ජනාධිපති නීතිඥ චමත්කා වීරකෝන් උනම්බුව මහත්මිය පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියාය. නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහේෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT