Home » මාලිමාව එන ඡන්දයෙන් ආසන 120ක් දිනනවා

මාලිමාව එන ඡන්දයෙන් ආසන 120ක් දිනනවා

අගමැතිකම ලැබිය යුත්තේ මාලිමාවේ කෙනකුට

by mahesh
October 4, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

වත්මන් ආණ්ඩුව අතින් බරපතළ වරදක් සිදු නොවුණුහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 120ක් පමණ දිනා ගැනීමේ හැකියාව පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.

මෙවර ජනපතිවරණයේදී ලැබුණු ඡන්ද ඒ අයුරින්ම ලැබුණත් මාලිමාව මන්ත්‍රී ධුර 105ක් ලබා ගන්නා බව ද ඒ මහතා කීවේය.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විපක්ෂයේ සමහර පක්ෂ අගමැති අපේක්ෂකයන් පවා නම් කරලා. ඒ නම් කිරීම හරහා ඔවුන් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳ විශේෂයෙන් මැතිවරණ පිළිබඳ තිබෙන අනවබෝධයයි. එවැනි පක්ෂ ආණ්ඩු කරන්න තබා විපක්ෂය භාර දෙන්නවත් සුදුසු නෑ. මීට පෙර හතර වතාවක් ජනපතිවරණය පවත්වා මාස 9ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තිබෙනවා. ඒ තමයි 1989, 2010, 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණ. සෑම අවස්ථාවකම ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය මඟින් පාර්ලිමේන්තු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරලා තිබෙනවා. 1989 සහ 2010 පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්නේ මෙවර වගේම ජනපතිවරණය අවසන් වෙලා මාස තුනක් ඇතුළත. එවිට බලපෑම වැඩියි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනපතිවරණය ජයග්‍රහණය කළ පක්ෂය ලැබූ ඡන්ද ඒ අයුරින්ම ලැබෙනවා. නැතිනම් 5%ක් පමණ අඩු වෙනවා. නමුත් ප්‍රධාන විපක්ෂයේ අය පරාජයෙන් පසු මානසිකව වැටිලා පාර්ලිමේන්තු මැතිවරණයට උනන්දුවක් දක්වන්නේ නෑ. ඒ නිසා පරාජිත පක්ෂයේ ඡන්ද 1989දී 22%ක්, 2010දී 33%ක්, 2015දී 18%ක්, 2020දී 42%ක් අඩු වෙලා තිබෙනවා. මේ ප්‍රතිශත හදනකොට ජනපතිවරණයේදී සහාය දීලා පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනම තරග කළ පක්ෂ ලැබූ ඡන්දත් ගළපලා හදලා තිබෙන්නේ කියන එක විශේෂයෙන් කියන්න ඕනෑ. ඒ නිසා පරාජිත ප්‍රධාන පක්ෂ දෙකේම ඡන්ද 25% බැගින් අඩු වේවි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්.

ඒ වගේම අනිවාර්යයෙන්ම ජනපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කරන්න නම් පාර්ලිමේන්තු බලයත් මාලිමාවට යන්න ඕනෑ. නැතිනම් ජනපතිගේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ සහයෝගය නොතිබුණු නිසා කරන්න බැරි වුණා කියලා කියන්න අවස්ථාව ලැබෙනවා. ජනපති සහ අගමැති පක්ෂ දෙකකින් වුණාම සිද්ධ වෙන්නේ රට අස්ථාවර වෙන එක විතරයි.

දේශපාලනය නොතේරෙන අය විපක්ෂයේ ඉඳන් දැනටම අගමැතිකමට ඇඳුම් මැහැව්වාට අගමැතිකම ලැබිය යුත්තේ මාලිමාවේ කෙනකුට. නමුත් ආණ්ඩුව හරි මඟ යන්න නම් වැරදි දේ විවේචනය කරන හොඳ දේට සහාය දෙන සාධනීය විපක්ෂයක් තිබිය යුතුයි. ඒ බලවේගය ආණ්ඩුවට විපක්ෂයක් විතරක් නොවේ විකල්පයක් විය යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT