අධි සුඛෝපභෝගී කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් විසිපන් ලක්ෂයක් ලබා ගෙන වංචා කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ අයෙකු ලබන ඔක්තෝබර් මස 16 වන දින දක්වා රිමාන්ඩ් කිරීමට මහර අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්න මහතා පසුගිය දා (02) නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 21 වන ජනපදය, ගලෙන්බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ. සම්පත් බුද්ධික වරකාගොඩ යන අය එසේ රිමාන්ඩ් කිරීමට නියම විය.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරනායක පුර, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි බී.ඒ. නිරෝෂන් සිරිලාල් යන අය විසින් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ල විමර්ශනය කර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් සැකකරු විසින් අධි සුඛෝපභෝගී කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් මිලදී ගැනීම සඳහා පැමිණිලි කරුගෙන් රුපියල් විසිපන් ලක්ෂයක් ලබා ගෙන වංචා කර ඇති බවත්, පසුව මෙම සැකකරු විසින් එම වංචා කරන ලද මුදලින් කොටසක් කැසිනෝ ක්‍රීඩාවට යොදවා ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වන බව පැවැසීය.
මීට අමතරව එම වංචා කරන ලද මුදල්වලින් තව කොටසක් සැකකරු විසින් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි තම මවගේ බැංකු ගිණුමට බැර කර ඇති බවට හෙළි වන අතර මීට අමතරව මෙම සැකකරුට එරෙහිව මහාධිකරණයේ නඩු කිහිපයක් අධි චෝදනා ගොනු කර විභාග වන බව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.
මෙම සැකකරුට මහාධිකරණයේ පවතින නඩුවක් සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් මහාධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවත් මීට අමතරව ව්‍යාජ ලේඛන සකස් කර ඉඩමක් විකුණා රුපියල් මිලියන 21ක් වංචා කිරීම සම්බන්ධව කොළඹ සහ ගම්පහ මහාධිකරණවල නඩු පවරා ඇති අතර ඒ අනුව
මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර අවසන් වී නොමැති බැවින් සැකකරු රිමාන්ඩ් කිරීමට නියම කරන ලෙස පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහර අතිරේක වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම නියෝග නිකුත් කළේය. පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් (71453) කුමාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ලදී.