Home » පෞද්ගලික ආයතනයක ව්‍යාපාර සංවර්ධන නිලධාරිවරයෙක් මුදල් වංචා කළේ යැයි රිමාන්ඩ්

පෞද්ගලික ආයතනයක ව්‍යාපාර සංවර්ධන නිලධාරිවරයෙක් මුදල් වංචා කළේ යැයි රිමාන්ඩ්

by mahesh
October 4, 2024 1:00 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සමරතුංග

මහර, කඩවත ප්‍රදේශයේ පිහිටි රබර්වලින් ටයර් සහ ටියුබ් නිපදවන පෞද්ගලික ආයතනයක ව්‍යාපාර සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරමින් සිට රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂ හතළිස් හය දහස් හයසිය හැත්තෑ හතරක මුදලක් වංචා කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ අයකු ලබන 09 වැනි දින දක්වා රිමාන්ඩ් කිරීමට මහර අතිරේක වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න විමලරත්න මහතා පෙරේදා (02) වන දින නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කන්ද පාර, පහතලග, පුවක්පිටිය, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ආර්.ඩබ්ලිව්. දිනේෂ් වෛද්‍යරත්න නැමැති 44 හැවිරිදි අයකු එසේ රිමාන්ඩ් කිරීමට නියම විය.

සිද්ධිය සම්බන්ධයෙන් එම ආයතනයේ කළමනාකාර පින්නගොල්ල උතුර, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි කේ. රෝහිත ලක්ෂ්මන් කුමාර යන අය විසින් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ල විමර්ශනය කර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් (71453) කුමාර මහතා වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙම සැකකරු අදාළ රබර්වලින් ටයර් සහ ටියුබ් නිපදවන පෞද්ගලික ආයතනයේ ව්‍යාපාර සංවර්ධන නිලධාරිවරයකු ලෙස සේවය කරමින් සිටියදී වෙ‍ෙළඳසල්වලට භාණ්ඩ ලබා දීමේදී එහි මුදල් ගෙවීමට දින 60ක පමණ කාලයක් ලබා දෙන බවත් එහිදී මෙම සැකකරු මෙම මුදල් වංචා කර ඇති බවත් පැවසීය.

මීට අමතරව මෙම සැකකරු අදාළ පෞද්ගලික ආයතනයේ සේවය කිරීමේදී දිස්ත්‍රික්ක නවයක පිහිටි අදාළ වෙ‍ෙළඳසල්වලට ටයර් සහ ටියුබ් ලබාදී මෙම මුදල් වංචා කර ඇති බවත් මේ පිළිබඳව අදාළ වෙළඳසල්වල ගනුදෙනු කරුවන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිත වන බැවින් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර අවසන් වී නොමැති බව සැරයන්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT