“පහතට එල්ලෙමින් තිබූ දුරකතන රැහැන් අනතුරුදායක බව ගම්වැසියන් දැනුම්දී තිබුණත් ඒවා ඉවත් නොකිරීම නිසා මගේ මල්ලීගේ ජීවිතය අකාලයේ අහිමි වෙලා ගියා.” යැයි ගාල්ල, බටදූවේ විදුලි අධිකාරිවරයකු ලෙස කටයුතු කරන චමින්ද ඉලේසිංහ මහතා (47) තම සොහොයුරාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කීවේය.
මෙලෙස මියගොස් ඇත්තේ භාණ්ඩ බෙදාහැරීමේ සේවා ආයතනයක සේවකයකු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර ලංකේෂ්වර ඉලේසිංහ (42) නමැති අයෙකි.
මහමඟට පහත්වී තිබූ දුරකතන රැහැනක බවුසරයක් පැටලී දුරකතන කණුවක් කඩාගෙන මහමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි රවීන්ද්‍රගේ හිස මත
පතිත වීමෙන් මේ මරණය සිදුව තිබුණි. පසුගිය 03 වැනිදා සිදු වූ මේ අනතුරකින් බරපතළ තුවාල ලබා රවීන්ද්‍ර, ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 04 වැනිදා රාත්‍රියේ මියගියේය. මේ මරණය සම්බන්ධ පරීක්ෂණය ගාල්ල ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේදී හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදු කරන ලදි.
එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් චමින්ද ඉලේසිංහ මහතා මෙසේ ද කීවේය.
“පාරේ තිබෙන දුරකතන රැහැන් ගොඩක් පාරට පහත්වෙලා තිබිලා තියෙන්නේ. මේ ගැන ගම්වාසීන්, බලධාරීන් දැනුම්වත් කර තිබුණා. නමුත් ඒවා පිළිසකර කිරීමට කවුරුවත් කටයුතු කර තිබුණේ නෑ. මගේ මල්ලි රාජකාරි වැඩකට යමින් සිටියදී තල්ගම්පළ ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වූ බවුසරයක දුරකතන රැහැන් පැටලිලා ඒ එක්කම දුරකතන කණු දෙකක් කඩා වැටිලා. එකක් මල්ලිගේ ඔළුවට තමයි වැටිලා තියෙන්නේ.”
මියගිය තැනැත්තාගේ බිරිය වන දොළගේ කුමාරි රෝෂිණී නිමේෂා ස්වර්ණමාලි විජේරත්න මහත්මිය (28) සාක්ෂි දෙමින් මෙසේ කීවාය.
“පහුගිය තුන් වැනිදා මහත්තයා වෙනදා වගේම වැඩට ගියා. දවල් 11.00ට විතර මට කතා කරලා කිව්වා වැඩකට යන ගමන් කියලා. 11.45ට කෝල් එකක් ආවා මහත්තයා ඇක්සිඩන්ට් වෙලා කියලා. මහත්තයාට ඉස්සරහින් ගිය බවුසරයක ටෙලිෆෝන් වයර් පැටලිලා, කණු දෙකක් කඩා වැටිලා. එකක් බවුසරේ ඉස්සරහින් වැටිලා. අනික මහත්තයාගේ ඇඟ උඩට වැටිලා ඔළුව, අතපය තුවාල වෙලා ඉස්පිරිතාලෙට අරන් ගියා කියලත් කිව්වා. මම ඉස්පිරිතාලෙට යනකොට මහත්තයා දැඩි සත්කාර ඒකකයේ මැෂින් හයි කරලා තිබුණේ. කෑගගහා හිටියා වේදනාවෙන්. ඇඟ හැම තැනම තුවාල තිබුණා. ලේ ගලලා තිබුණා. රෑම සැත්කමක් කරලා තිබුණා. වෛද්‍යවරුන් කිව්වා තත්ත්වය අසාධ්‍යයි කියලා. හතර වැනිදා රෑ11.40ට විතර මහත්තයා නැතිවුණා කියලා ඉස්පිරිතාලෙන් කෝල් කරලා කිව්වා.”
බවුසරයේ රියැදුරු ජයසිංහ ආරච්චිගේ ජගත් ජයසිංහ (39) මහතා ද මෙසේ සාක්ෂි දුන්නේය.
“මම පදිංචි මීරිගම. මම නාකියාදෙණියේ ඉඳලා මුතුරාජවෙලට පාම් ඔයිල් ප්‍රවාහනය කරනවා. එදත් පාම් ඔයිල් අරගෙන යද්දී මේ අනතුර වුණේ. මම රස්සාවට ඇවිත් මාස තුනක් විතර වෙනවා. මම හතර වතාවක් විතර මේ බවුසරය මේ පාරේ ධාවනය කර තියෙනවා. තුන්වැනිදා තල්ගම්පළ හොර වංගුව ගනිද්දී මට දැනුණා, බවුසරය උඩ මොනවාහරි පැටලෙන බව. බවුසරය බිම ඉඳලා අඩි 8.5ක් විතර උස ඇති. පැටලෙනවාත් එක්කම මම තිරිංග තද කළා. ඒ එක්කම ඉස්සරහ පාරේ වම් පැත්තේ තිබුණු ටෙලිෆෝන් කණුවක් පාර හරහා වැටුණා. ඒ එක්කම පාරේ දකුණු පැත්තේ තිබුණු ටෙලිෆෝන් කණුවකුත් වැටිච්ච බව පැති කණ්ණාඩියෙන් දැක්කා. යතුරුපැදියේ ගිය කෙනෙක් ඒ කණුවට යට වෙලා ඉන්නවා දැක්කා. වාහනේ නතර කරලා ගිහින් බැලුවා. එයාට ගොඩාක් තුවාල වෙලා තිබුණා. පාරේ යන වාහනයක දාලා ඉස්පිරිතාලෙට යැව්වා. මමත් වාහනයත් පොලිසියට අරන් ගියා. පහුවදා මම උසාවියට ඉදිරිපත් කළා. මට ඇප දුන්නා. අද දැන ගත්තා තුවාලකරු නැතිවෙලා කියලා.”
මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද්දේ ගාල්ල ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය ශෂිනි නිලුද්ධිකා මහත්මිය විසිනි.
වෛද්‍යවරියගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා මේ මරණය සිදුව ඇත්තේ දුරකතන කණුවට යටවීමෙන් හිසට, උදරයට සහ අත්පාවලට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් යැයි තීරණය කෙරිණි.