Home » පොලිස් වෙනස

පොලිස් වෙනස

by sachintha
October 8, 2024 1:00 am 0 comment

වළලු ලූ අතකින් මාංචු දමාගැනීමට සිදුවෙන සෙයියාවක් දැන් මතුව ඇත්තේය. ශ්‍රී ලංකාවේ පොලිස්පති තනතුර සඳහා මීට පෙර තිබුණේ පිරිමි අතර තරගයකි. දෙපාර්තමේන්තුවක් වුවද, එහි ප්‍රධානි ධුරය සඳහා නෝනා කෙනෙක් පත් නොවූයේ සම්ප්‍රදායක් හේතුවෙන් මිස, ඒ සඳහා ස්ත්‍රී – පුරුෂ භේදයක් තිබුණේ නැත. වෙනත් ඕනෑම රජයේ දෙපාර්තමේන්තුවක මේ සඳහා බාධක නැත්තේ හෙයින් පොලිස් දෙපාර්තමේන්තුවේ ද ඒ ආකාරයට තිබිය නොහැක්කේය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට කාන්තා නිලධාරිනියක් පත්වීමට යෝජිත බැව්, ඊයේ දිනමිණ සිය මුල් පිටුවෙන් වාර්තා කළේය. දැනටමත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ සේවය කරනුයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මියය. අදාළ තනතුර සඳහා ඇය උසස් වනු ඇත්තේ යැයි කිව හැක්කේ එහෙයිනි. හතර වැනි තට්ටුව සඳහා මේ ආකාරයට කාන්තා ප්‍රධානියෙක් පත් වන කල්හි එම සන්දර්භයම වෙනසකට භාජනය වෙනවා ඇත. ඒ කාන්තා ගතිකයේ ස්වභාවයය. අප දැනටමත් බොහෝ ආයතනයේ හි දකින්නේ පුරුෂ හැඩරුවය. මෙම හැඩතලය යම් වෙනසකට භාජනය වීම සඳහා ඒවායේ නායකත්වය කාන්තාවන් අතට පත්වීම යෙහෙකිය යන්න මේ තීරුවේ අදහසය.

ලෝලා බෝල්ඩ්වින් ගුරුවරියක ලෙස සේවය කරමින් ඊට වැඩිමනත්, සමාජ ක්‍රියාකාරිනියක බවට පත්වූවාය. විශේෂයෙන් දරුවන් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාරට බැස, ඇය සිය සේවය ලබා දුන්නාය. ලෝකයේ ප්‍රථම නිල කාන්තා පොලිස් නිලධාරිනිය ලෙස ඇය පත්වන්නී, 1908 වසරේදීය. එක්සත් ජනපදයේ, ඔරෙගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් නගරයේ පොලිස් බළකායේ පළමු නිලධාරිනිය ලෙස ඇය පත්වීමත් සමඟ පොලිස් සේවයේ දොරවල් කාන්තාවන් වෙත ද විවර විය.

1866 සැප්තැම්බර් 03 වැනිදා ආරම්භ වූ ලංකා පොලිස් සේවය, මුළුමනින්ම පුරුෂ ක්‍රියාකාරී අංශයක් විය. කාන්තාව සඳහා එහි අවස්ථාව හිමි වන්නේ 1953 වසරේදීය. ශ්‍රී ලංකාවේ දොළොස්වැනි පොලිස්පතිවරයා වූ සර් රිචඩ් අලුවිහාරේ වාර්තාගත චරිතයකි. එතෙක් සුදු ජාතිකයෝ හොබවන ලද පොලිස්පති පුටුව සඳහා ස්වදේශිකයෙකු පත්වූ පළමු අවස්ථාව එයය. ශ්‍රී ලංකා පොලිසිය සඳහා කතුන් වෙත අවස්ථාව ලැබෙනුයේ මෙම කාලයේදීය. මුල්ම කාන්තා පොලිස් නිලධාරිනිය ලෙස සෝමා ගුණවර්ධන සහ මුල්ම කාන්තා පොලිස් සැරයන්වරිය වශයෙන් ප්‍රමිලා දිවාකර ද පත්වන්නේ මේ ආකාරයට පොලිසිය සඳහා ‘ලිය බඳවා ගැනීම්’ සිදු කිරීම හේතුවෙනි. උප පොලිස් පරීක්ෂකවරියක ලෙස පොලිස් සේවයට එක්වූ බිම්සානි ජාසිංහ ආරච්චි මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිනියක් දක්වා දුර ගමනක් පැමිණ සිටින්නීය.

මේ ආකාරයට පොලිස් ඉතිහාසය පෙරළියකට භාජනය වී ඇත්තේ ජෙන්ඩර් වයිස් හෙවත් ස්ත්‍රී – පුරුෂ භේදයෙන් තොරව එහි මුල් අසුන් සඳහා පත්වීම හේතුවෙනි.

මෑත භාගයේ ශ්‍රී ලංකාව මෙම අංශයෙන් පෙන්නුම් කළ සමාජ භාවිතාව ආසියාවේ සියලු රටවල් අබිබවා යන්නේය. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා වූ භේදයෙන් තොර අවස්ථා ලැබීම වූ කලී, මෙම කලාපයේ අන් කවර ස්ථානයක වුවද නොදැකිය හැකි ලක්ෂණයකි. ප්‍රගමනික සමාජයකට එවන් ලක්ෂණ අවශ්‍යය. භේදයන් උලුප්පා දක්වන ස්ත්‍රී පුරුෂ, ජාතිය සහ ආගම අනුව පාසල් වර්ගීකරණය ආදී කොටගෙන අප පටන්ගෙන ඇත්තේම වැඩේ බෙදාගෙනය.

සමාජයේ සාම්පලයක්, පාසලේදී දක්නට නොලැබෙන අධ්‍යාපනයක් යනු කාරණා බොහොමයක් එම දරුවා වෙත අහිමි කරන ප්‍රයාමයක් වන්නේය. භේද අනුව සකසන පාසල් ක්‍රමය වෙනස් කරමින් මේ සඳහා අපි පියවර තැබිය යුත්තේ වෙමු.

පොලිස් කතාව අද මාතෘකාව වූ හෙයින් ඒ ගැන ද අවසානය සඳහා සටහනක් තැබිය යුතුය. මේ වනවිට පොලිස්පති පදවියේ වැඩ බලන්නේ ප්‍රියන්ත වීරසූරියය. හෙතෙම කොස්තාපල්වරයකු ලෙස පොලිසියට බැඳුණු හෙයින් පහළ සිට ඇති බොහෝ කාරණා සම්බන්ධයෙන් අත්දැකීම් සහිතය. දේශපාලන න්‍යායපත්‍ර කර දරාගෙන සහ දේවාල ගාණේ ගොස් ලබාගත් පොලිස්පතිකම් මේ රටට කළ කොඩිවිනය අප පසුගිය සමයේදී අත්දකිනා ලදි.

වෙනස් මාදිලියක පොලිසියක් මේ රටේ ජනතාව අපේක්ෂා කරනුයේ වසර තිහ හතළිහක පටන්ය. ඕඩර් කළ එක සහ ලැබුණු එක අතර වෙනස, අන්තර්ජාල වෙ‍ෙළදාමේදී නිතර අත්දකින්නා සේ, පොලිසිය සම්බන්ධයෙන් ද මේ වෙනස අපට දැක ගැනීමට ලැබෙන්නේය. කාලයෙන් කාලයට විවිධ තේමා යටතේ පොලිසිය ජනතා සේවය සඳහා කැපකිරීමට, දරන උත්සාහ ඇත්තේය. පොලිස් කොමිසම් ආදිය පිහිටුවා වැඩේ රාමුගත කිරීම ද සිදුව ඇත්තේය. ඒත් මහජනයා වෙනස සම්බන්ධයෙන් තවම ඒ ආකාරයේ අත්දැකීමක් ලබන්නේ නැත. වෙනදා මෙන් නොව ජනතාව වෙත කාරුණික කතාබහ ආදිය පොලිසියේ නැතුවා නොවේ. ඒ සාමාන්‍ය ප්‍රශ්නවලදීය. එසේ වුවද උඩ තලයේදී තවම පොලිසිය ඇතුළේ අල්ලස් සහ අක්‍රමිකතා බහුලය. ප්‍රියන්ත වීරසූරිය වැනි හොඳ නමක් සහිත නිලධාරියෙක් උඩ පුටුවට යෑම සම්බන්ධයෙන් අපට ඇති සතුට එයය. අවුල් වියවුල් නොමැතිව නමක් තියාගෙන ඔය තරම් කාලයක් පොලිසියේ සිටින නිලධාරීන් කිහිප දෙනාගෙන් එක් අයෙක් බැවින්, රට ඉල්ලූ වෙනස පොලිසියේදී ලබාදීමට ඔහුට හැකිවෙනවා ඇත යන සුබවාදී ආකල්පය අපට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT