Home » නැටුමකින් ගුරු දිනය ඔපවත් කරන්න සිටි නයනදි මිහින්සා ජීවිතයත් මරණයත් අතර සටනක
තණමල්විල කිවුල්ආර පදිංචිකරුවෝ හඬා වැලපෙති

නැටුමකින් ගුරු දිනය ඔපවත් කරන්න සිටි නයනදි මිහින්සා ජීවිතයත් මරණයත් අතර සටනක

by sachintha
October 8, 2024 2:51 am 0 comment

වයස අවුරුදු 07ක් වූ තණමල්විල කිවුල්ආර පදිංචි නයනදි මිහින්සා දෙව්සරණි දැරිය අධ්‍යාපනය ලැබුවේ මො/කිවුල්ආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු වසරේය. අධ්‍යාපනයට, පන්තියේ කටයුතුවලට මෙන්ම පරිබාහිර කටයුතුවලටද ඉතා කඩිසර මේ පුංචි මල් කැකුළ මාපියන් සංවිධානය කර තිබූ ගුරු දිනය සැමරීමට ඉතා ආශාවෙන් බලා සිටියේ අතේ ඇඟිලි ගනිමින්ය. එහෙත් ඇයට එම බලාපොරොත්තුව ඉටු කර ගන්නවා වෙනුවට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වීමට සිදුව ඇත්තේ ඉතා අවාසනාවන්ත සිදුවීමක් නිසාය.

මාපියන් එක්ව ගුරු දින සැමරුමත් සංවිධානය කර තිබුණි. ඒ සඳහා මාපියන් උත්සවය හැඩ කිරීම සඳහා නැටුම් කිහිපයක් ද යොදා ගෙන තිබූ අතර එම එක් නැටුමක් සඳහා මේ පුංචි නයනදි මිහින්සා දෙව්සරණි ද සහභාගි වූවාය. ගුරු දිනය සැමරීමට දින දෙකක් තිබීම නිසා නැටුම් පුහුණුවීමට දරුවන් කිවුල්ආර ප්‍රදේශයේ නිවෙසකට එකතු විය. පුංචි මිහින්සා දැරිය ද ඒ සඳහා සහභාගී වීමට 05 වැනි දින දහවල් 11.30ට පමණ නිවෙසින් පිටවූයේ සිය මවගේ සොහොයුරා සමඟය.

මිහින්සාගේ පියා යුද හමුදා සෙබළෙක් වන අතර මව ගොවිතැන් කටයුතුවල නිරත වෙයි. මේ නිසාම නිවෙසේ සිට සිය මාමා සමඟ පුංචි මිහින්සා ගුරු දිනයට නැටුම් පුරුදු වන ස්ථානයට යෑමට යතුරුපැදියෙන් පිටත් විය. එහෙත් ඔවුන් දෙපොළට නිවෙස පසුකරගෙන යෑමට නොහැකි විය. වේගයෙන් ආ මෝටර් රථයක් ඔවුන්ගේ යතුරුපැදියේ ගැටුණි. ඉන් ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වූ දැරිය වහාම අදාළ අනතුර සිදු වූ මෝටර් රථයෙන්ම තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණි.

හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණ පුංචි මිහින්සා මේ වන විටත් හදිසි ප්‍රතිකාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර පොරබදමින් සිටියි. මේ සංවේගජනක පුවත දැනගත් වහාම මො/කිවුල්ආර සමන්සිරි කරුණාරත්න ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති රක්වානේ නන්දසාර හිමියන් ඇතුළු ගුරු මණ්ඩලය ඊයේ (07) දිනට පාසලේ පැවැත්වීමට යොදා ගෙන තිබූ ගුරු දින උත්සවය ද අවලංගු කර තිබේ. ඒ වෙනුවට අනතුරට පත් දැරිය වෙනුවෙන් පෙරේදා (06) රාත්‍රී සිටම සියලු දෙනා එක්ව අනතුරට පත් දැරියට ඉක්මන් සුවය පතා බෝධි පූජා පින්කම් පැවැත්වීම ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනතුර සිදු කළ මෝටර් රථ රියැදුරු තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත නිදහස් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.

සූරියවැව විශේෂ නුවන් ජයසේකර‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT