Home » පුපුරන ද්‍රව්‍ය වෙළෙඳාමේදි කෝටි ගණන් වංචා සිදුවෙලා

පුපුරන ද්‍රව්‍ය වෙළෙඳාමේදි කෝටි ගණන් වංචා සිදුවෙලා

by sachintha
October 8, 2024 2:55 am 0 comment

රජය මඟින් පමණක් කළ ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය ඩොලර් අර්බුදය හමුවේ පෞද්ගලික අංශයටත් දීලා

ජනපතිවරණයට දින කිහිපයකට පෙර හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ හිතවතුන්ට අලෙවි බලපත්‍ර නිකුත් කරලා

පුපුරන ද්‍රව්‍ය ආනයනයේ දී බෙදාහැරීමේ දී සහ සහ බලපත්‍ර නිකුත් කිරීමේ දී පසුගිය රජය සමයේ දී රුපියල් බිලියන ගණනක මහා පරිමාණ වංචා රැසක් සිදුව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනපතිවරයාගෙන් හා ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය පවසයි.

ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පුපුරන ද්‍රව්‍ය අලෙවි බලපත්‍ර ඔහුගේ හා දේශපාලනඥයන්ගේ හිතවතුන්ට නිකුත් කර තිබෙන බවත් එම බලපත්‍රවලට අදාළව මහව සහ මහනුවර ප්‍රදේශවල මේ වනවිටත් ගබඩා ඉදි කෙරෙමින් පවතින බවත් එම සංසදය පෙන්වා දෙයි.

මහනුවර පේරාදෙණිය තානායමේදී පෙරේදා (06) පැවති මාධ්‍ය හමුවක දී සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ නියෝජිතයන් මෙම අනාවරණය කළේය.

එහිදී අදහස් දැක් වූ එම සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න මහතා මෙම ක්ෂේත්‍රයේ පවතින වංචා, දූෂණ හා ගැටලු පිළිබඳව පුපුරන ද්‍රව්‍ය පාලක වශයෙන් කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කිරීමට කාලයක් තිස්සේ උත්සාහ කළත් ඔහු කිසිවකුට හෝ ඇහුම්කන් නොදුන්නේ යැයි පැවසුවේය.

මෙම ප්‍රශ්න සම්බන්ධව මාධ්‍ය හමුවේ හෝ ප්‍රකාශ කිරීමට නොහැකි වාතාවරණයක් රටේ පැවැතුණු බවත් එම අවස්ථාවේ ආරක්ෂක ලේකම්ට හෝ රජයේ ඇමැතිවරයකුට චෝදනා කළේ නම් තම බලපත්‍ර අහෝසි කිරීමට ඉඩ තිබූ බවත් කී ඒ මහතා වංචාව හා දූෂණය පිටුදැකීමට කටයුතු කරමින් සිටින වත්මන් ජනපතිවරයා යටතේ තම ගැටලුවලට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් පුද්ගලයන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ගේ බලපත්‍ර තහනම් කළ නමුත් පසුව එම බලපත්‍ර සක්‍රිය කළ බව ද හෙතෙම අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාර සිද්ධියෙන් අනතුරුව අලෙවිකරුවන් වෙත පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් තහනම් කිරීම නිසා රටේ කළුගල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු ඇනහිටීමෙන් ගැටලු රැසක් මතු වූ බවත් පුපුරන ද්‍රව්‍ය ලබා ගැනීමට තම සංසදය මඟින් රුපියල් ලක්ෂ 25ක මුදලක් හිටපු ඇමැතිවරයෙකුට ලබාදුන් බවත් සූර්ය කුමාර විජේරත්න මහතා කීවේය.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ තාවකාලික ලේකම් රාජපක්ෂ සිඩ්නි ගුණතිලක මහතා අදහස් දක්වමින්, පුපුරන ද්‍රව්‍ය අලෙවි නියෝජිතයන් 82කු ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටින බවත් ආර්ථික අර්බුදයත් සමඟ ඇති වූ ඩොලර් හිඟය හේතුවෙන් ඇමෝනියම් නයිට්‍රේට් හිඟවීම නිසා එතෙක් වෙළෙඳ අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් පමණක් කළ ආනයන කටයුතු පෞද්ගලික අංශයටත් ලබා දීමට තීරණය වූ බවත් පැවසුවේය.

ඒ අනුව දේශපාලනඥයන්ගේ හිතවතුන් මෙරටට අමෝනියම් නයිට්ට්‍රේට් ආනයනය කර රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මඟින් රුපියල් 910ට ලබාදුන් කිලෝව රුපියල් 2117 ට අලෙවි කරමින් අධික ලාභයක් ලබාගත් බවත් මෙම මුදල් හිටපු රජයේ ප්‍රබලයන් අතර බෙදී ගිය බවට සැක කරන්නට ඕනෑ තරම් හේතු පවතින බවත් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

බිත්තරයක්, හාල් කිලෝවක් වැඩි මිලට අලෙවි කළොත් වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීම් සිදු කරන නමුත් පෞද්ගලික ව්‍යාපාරිකයන් පුපුරන ද්‍රව්‍යවලින් අධික ලාභ තබා ගනිත්දී ආරක්ෂක ලේකම් හෝ කැබිනට් මණ්ඩලය හෝ කිසිදු පියවරක් නොගත් බව ද ඒ මහතා කීය.

ආර්ථික අර්බුදය පැවති අවස්ථාවේ මෙරටට ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කරන ලද කේ.ඩී.එන්. කෘෂාන්ත මහතා පැවසුවේ තමන් සතුව විදේශ රටක ලියාපදිංචි ව්‍යාපාරයක් පවතින බවත් එමඟින් ශ්‍රී ලංකාවට අවශ්‍යය පුපුරන ද්‍රව්‍ය ආනයනය කළ බවත් ය.

රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට සහ පෞද්ගලික අංශයට තමන් පුපුරන ද්‍රව්‍ය ලබා දුන්නේ එකම මිලකට බවත් ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික ව්‍යාපාරිකයින් අධික ලාභයක් තබා ගනිමින් ඒවා අලෙවි කරත් දී එය පාලනය කිරීමට රජය කටයුතු නොකළේ ඇයිද යන්න ගැටලුවක් බවත් ඒ මහතා කීය.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සාමාජික ලක්ෂ්මන් ලංකාතිලක මහතා පැවසුවේය මහව ප්‍රදේශයේ පුපුරන ද්‍රව්‍ය අලෙවි නියෝජිත ලෙස තමන් කටයුතු කරද්දී හිටපු ආරක්ෂක ලේකම්වරයා තමන්ගේ ආරක්ෂක නිලධාරියකුගේ පුතකුගේ නමට මහව ප්‍රදේශයට නව බලපත්‍රයක් නිකුත් කර තිබෙන බවත් එය නිකුත් කර ඇත්තේ කිසිදු සක්‍යතා අධ්‍යනයකින් තොරව බවත් ය.

ප්‍රධාන පෙළේ ව්‍යාපෘතිවලට ඍජුව පුපුරන ද්‍රව්‍ය ලබා දීමේ හැකියාවක් අලෙවි නියෝජිතයින්ට නොමැති බවත් එය සිදු කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ බවත් පැවසූ ඒ මහතා එම විශාල තොග අලෙවි කිරීමේ අවස්ථා හිමිවන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ හිතවතුන්ට බව ද අවධාරණය කළේය.

අසේල කුරුළුවංශ

ඡායාරූපය – රුවන් මීගම්මන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT