Home » බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට අවධානය

බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන් කිරීමට අවධානය

-බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක

by sachintha
October 8, 2024 2:40 am 0 comment

ඉදිරි කාලයේදී මෙට ඉදි කෙරෙන බන්ධනාගාරවල සංක්‍රාන්ති ලිංගික සිරකරුවන් වෙනුවෙන් වෙනම ඉඩකඩ වෙන් කිරීම පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ බන්ධනාගාර පද්ධතිය තුළ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රමුඛ බන්ධනාගාර බලධාරීන් සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සාමාජිකයන් අතර පැවති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“දැනට බන්ධනාගාරවල පවතින අඩු පහසුකම් හේතුවෙන් සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට වෙනම ඉඩක් වෙන්කිරීම අභියෝගයක්. ඔවුනගේ අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම ගැටලු සහගතයි.

අප සෑම විටම උත්සාහ කරන්නේ නිල හැඳුනුම්පතක් ඇති සංක්‍රාන්ති ලිංගික සිරකරුවන්ට ඒ අනුව සිර වාට්ටුවල ඉඩකඩදී දීමටයි. (2016 ජූනි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට තමන් කැමැති ස්ත්‍රී පුරුෂ භාවයෙන් පිළිගැනීම සඳහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිගැනීමේ සහතිකයක් ගැනීමට අවසර දී ඇත) ඔවුන් කැමැති ලිංගභේදය තහවුරු කරන හැඳුනුම්පතක් ඔවුන් සතුව නොමැති නම් අපි ඔවුන් සංක්‍රාන්ති ලිංගිකයකු ලෙස සැලකිය හැකිද යන්න තක්සේරු කළ හැකි වෛද්‍යවරයකුට යොමු කරනවා. අපට ලැබෙන වෛද්‍ය උපදෙස් ද අදාළ සිරකරුගේ කැමැත්ත ද විමසා ඔවුන්ට සුදුසු පරිදි සිර වාට්ටුවල ඉඩ දීම පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරනවා. බන්ධනාගාර තුළ සංක්‍රාන්ති ලිංගිකයන් පිළිගැනීම සම්බන්ධයෙන් අවදානමක් නැත්තේම නෑ.”

සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ සේනක පෙරේරා මහතා

“සංවර්ධිත රටවල් බොහොමයක් සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් පිළිගෙන තිබෙනවා. විශේෂයෙන් බන්ධනාගාරවලට සංක්‍රාන්ති ලිංගික සිරකරුවකු යොමු වූ විට ඒ අය කාන්තා සිර වාට්ටුවලට යොමු කිරීමේදී ඔවුන්ට හිරිහැර වූ අවස්ථා වාර්තාවී තිබෙනවා. මේ සිරකරුවන්ට ද අනෙක් අයට වගේම සමාන අයිතිවාසිකම් තිබෙනවා. මේ පිළිබඳව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බන්ධනාගාර බලධාරීන් සමඟ සාකච්ඡා කළා . බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ සිරකරුවන්ගේ ගැටලුව පිළිබඳව අවධානය යොමු කර සිටියා. ඉදිරියේදී ඉදි වන බන්ධනාගාරව මෙවැනි සිරකරුවන් සඳහා වෙනම ඉඩක් පවත්වාගෙන යන්නට යෝජනා ඉදිරිපත් කරන්නට බන්ධනාගාර බලධාරින් අකැමැත්තක් පළ කළේ නෑ. මහ මැතිවරණයෙන් පසු පත්වන අධිකරණ විෂය භාර ඇමැතිවරයා සමඟත් මේ සම්බන්ධව පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.”

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT