මේ රටේ උද්ගතව ඇති අර්බුදය ආර්ථික අර්බුදයක් ලෙස හුවා දැක්වුව ද එය ආර්ථික අර්බුදයට එහා ගිය සියලු ක්ෂේත්‍ර බිඳ වැටුණු බරපතළ අර්බුදයක් බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
අගමැතිනි හරිනි අමරසූරිය මෙෙණවිය මේ බව කියා සිටියේ හෝමාගම, පිටිපන පුරාණ විහාරය කිරිවත්තුඩුව චිත්ත සමාධි විවේකාශ්‍රමය හා පිටිපන දකුණ ධර්මාලෝක විහාරය යන විහාරත්‍රයාධිපති හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩල විහාරාධිපති සංගමයේ සභාපති, විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති, ශාස්ත්‍රපති හෝමාගම සීලවංශ නාහිමියන් වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත යන ගෞරව නාමය සහිතව සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වය මඟින් ‘සීනාදි සිව් කෝරළේ උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබීමෙන් අනතුරුව උන්වහන්සේ වැඩ සිටින හෝමාගම පිටිපන විහාරස්ථානයට පෙරේදා (06) වැඩම කළ අවස්ථාවේ දී සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයේ ප්‍රධාන ගිහි ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අග්ග මහා පණ්ඩිත කොටපිටියේ රාහුල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක මාහිමියන් වහන්සේ මෙම උත්සව සභාවේ මූලාසනය හොබවන ලදි.
මෙහිදී අභිනව අනු නාහිමියන් වෙත ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් රුවන් චන්ද්‍ර කුමාර මහතා සන්නස් පත්‍රය පිළිගැන්වූ අතර හෝමාගම, පිටිපන හරිත සරසවියේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා විජිනි පත පිළිගන්වන ලදි.
අභිනව නාහිමියන් වෙත ප්‍රථම අෂ්ට පරිස්කාර පූජාව අගමැති, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පූජා කිරීමෙන් අනතුරුව උත්සව සභාව අමතා ඇය මෙසේද පැවසුවාය.
මේ රටට නිසි නායකත්වයක් නොලැබීම නිසා අනාදිමත් කාලයක සිට පැවති ගමත් පන්සලත් අතර තිබූ සහ සම්බන්ධය මේ වන විට සම්පූර්ණයෙන්ම දුරස් වෙලා. එය යථා තත්ත්වයට ගන්න හැකි වෙන්නෙ පන්සලත් දහම් පාසලත් තුළින් පමණයි.
ඒ නිසා බලයට පමණක් සීමා නොවුණු නායකත්වයක් මේ රටට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්ව භූමිකාව අලුත් ආකෘතියකින් හඳුන්වා දීම අපේ අරමුණයි.
ඊට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. ඉන් එකක් තමයි හැමෝම කියනවා මේ රටේ දැන් පවතින ප්‍රධානතම අර්බුදය ආර්ථික අර්බුදය කියල. නෑ ඒක ප්‍රධානම අර්බුදය නොවෙයි. මේ ආර්ථික අර්බුදය ඇතිවීමටත් ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ අපේ රටේ සියලු ක්ෂේත්රවල කඩා වැටීමයි. අන්න ඒ කඩා වැටීමෙන් රට ගොඩගන්න සාම්ප්‍රදායික රටාවකින් බැහැ. ඒ නිසා තමයි අලුත් ආකෘතියකින් මේ රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යන්න අලුත් ආකෘතියකින් යුක්ත නව නායකත්වයක් හඳුන්වා දෙන්නේ.
ඇතැමුන් විශ්වාස කරනවා මේ රටේ පාරවල් හදන එක, ගොඩනැඟිලි හදන එක විශාල වාහන ගෙන්වන එක රටක සංවර්ධනය කියලා. නෑ ඒක නොවෙයි සංවර්ධනය කියන්නේ. යම් රටක සංවර්ධනය හුවා දැක්වීමට නම් භෞතික වශයෙන් සංවර්ධනය වීම පමණක් මදි. ඒ තුළ ආධ්‍යාත්මික සංවර්ධනයත් වර්ධනය විය යුතුයි.
එකිනෙකාට සලකන විදිහ කතාබහ කරන විදිහ වෙනස් වෙලා ආකල්පමය වශයෙන් මානසික හා සමාජ සම්බන්ධතාවල ගුණාත්මකභාවය වෙනස් විය යුතුයි. ඒ තුළින් මිනිසාගේ ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනැඟිය යුතුයි. මේ පරිවර්තනය දේශපාලන නායකත්වයට පමණක් කළ හැක්කක් නොවෙයි. ඒ සඳහා මේ සමාජය තුළ සාමූහික ක්‍රියාදාමයක් අවශ්‍යයි. ඒ සඳහා මහා සංඝරත්නය ගොඩ නඟන සමාජ කතිකාව අපට ලොකු ශක්තියක් වේවි.
අපේ හාමුදුරුවනේ මීට පෙර මේ රටේ අධ්‍යාපනය පිළිබඳව අපි මඳක් දුරස්ථව කතා කළත් දැන් දැන් එහි ගැඹුරු බව මට වැටහෙනවා. මේ රට සංවර්ධිත රටක් කරන්න නම් ඉතාමත්ම විධිමත් ගුණාත්මක අධ්‍යාපනයක් මේ රටේ තිබිය යුතුයි. අධ්‍යාපනයෙන් තොර සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. නමුත් සහතිකය ලබා ගන්න පමණක් අධ්‍යාපනයේ නියැළීම නිසා එහි අරමුණු පසෙකලා ක්‍රියා කිරීම කනගාටුවට කරුණක්.
ආධ්‍යාත්මික සංවර්ධනය ආකල්පමය පරිවර්තනය නායකයන් බිහිකර ගැනීමට ඇති අවස්ථාව මේ වැරදි අධ්‍යාපනය ක්‍රමය තුළින් අපට මඟ හැරී යනවා. ඇතැමුන් දහම් පාසලට එන්නේ සහතිකය ගන්න මිසක් ආධ්‍යාත්මික සංවර්ධනය ගොඩනඟා ගන්න නොවෙයි.
එනිසා හැපි හැමෝම එකතුවෙලා බෙදී වෙන් වී ඇති සමාජයෙන් මිදිලා එකිනෙකා අතර සහකම්පනය වර්ධනය වන අයුරින් සංවාදයක් ගොඩනඟලා ලැබී ඇති මහඟු අවස්ථාව කදිමට ප්‍රයෝජනයට ගෙන මෙරට පරිවර්තනයේ යුගයක් කරා ගෙන යමු.
ඒ පරිවර්තනය භෞතික පරිවර්තනයක් පමණක් නොවෙයි. නැවත පවුල ගැන හිතෙන සමාජය ගැන හිතන එකිනෙකා අතර සුහදත්වය වර්ධනය වන ගුණධර්ම වර්ධනය වන අලුතින් හිතන සමාජයක් බවට පත්කරමු. ඒ සඳහා ඔබට මට උදා වී තිබෙන්නේ කදිම අවස්ථාවක්, එය පැහැර නොහැර වගකීමෙන් කටයුතු කරමු.
මේ උදා වී තිබෙන අවස්ථාව මීට පෙර සිදු වූ ආණ්ඩු මාරුවට වඩා එහා ගිය එකක්. ඒ පිළිබඳව අපි හොඳින් අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ නිසා ඔබේ බලාපොරොත්තු කඩ නොකොට කටයුතු කිරීමට අපි වගබලා ගන්නවා. ඒ සඳහා ලබාදෙන නායකත්වය අලුත් ආකෘතියකින් බලයට පමණක් සීමා නොවන නායකත්වයක් ලබා දෙනවා. අද අපේ රටේ හැමෝම නායකත්වය ලබා දෙන්නෙ බලය ලබාගන්න විතරයි. නමුත් අපි ඒ න්‍යායෙන් බැහැර වෙලා ඉන්නේ.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අග්ග මහා පණ්ඩිත කොටපිටියේ රාහුල නාහිමියන් අනුශාසනාවක් කරමින් මෙසේ පැවසීය.
එක්සත් ජාතීන්ගේ ප්රකාශනයට අනුව රටක සංවර්ධනය ලෙස දක්වා තිබෙන්නේ භෞතික සංවර්ධනය පමණක් නොවෙයි. ඒ තුළ ආධ්‍යාත්මික වශයෙනුත් සංවර්ධනය විය යුතු බවයි දක්වා තිබෙන්නේ. ඇතැමුන් කයිවාරු ගහනවා පාරවල් හදලා ගෙවල් හදලා බෝක්කු හදලා පොලිසි උසාවි විවෘත කරල කෑම බීම සුලභ කළහම රට සංවර්ධිතයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ලෝකේ බොහෝ රටවල් තියෙනවා ඒ විදිහට සංවර්ධනය වුණු රටවල්. නමුත් ආධ්‍යාත්මික සංවර්ධනයක් නැහැ.
ආධ්‍යාත්මික සංවර්ධනය නොමැති රටක පාලම් බෝක්කු පාරවල් උසාවි පොලිසි විවෘත කරලා පමණක් වැඩක් නැහැ.
ඒ වගේම ආකල්පවලිනුත් සංවර්ධනය වෙන්න ඕන. දැන් බලන්න මහ පාරේ ලයිට් එකක් දාලා සුදු ඉරක් ඇඳලා පාර මාරු වෙන්න කියලා නීතියක් දාලා තියෙනවා. නමුත් ඒක පිළිපදින්නේ නැති නිසා සුදු ඉර දෙපැත්තටම පොලිසියේ නිලධාරින් දෙන්නෙක් දාන්න වෙලා තියෙනවා. එහෙම වෙච්ච එකම රට ලංකාව නොවෙයිද. මේව නීතිමය ප්‍රශ්නද? ආකල්පමය ප්‍රශ්නද? මේවා ආකල්පමය ප්‍රශ්න. මේවා හැදෙන්න මිනිස්සු තුළ ආධ්‍යාත්මික සංවර්ධනය තියෙන්න ඕනි.
නීතිය යුක්තිය සාධාරණත්වය වැඩිකරලා ගුණාත්මක සංවර්ධනයක් මේ රටේ ඇති කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. එහෙම නැතුව උසාවි වැඩි වැඩියෙන් විවෘත කරලා පොලිසි වැඩි වැඩියෙන් විවෘත කරලා කරල මිනිස්සු ඒමට වැඩි වැඩියෙන් එන විදිහට මඟ සැලැස්වීම නොවෙයි ආධ්‍යාත්මික සංවර්ධනයෙන් ඉගැන්වෙන්නෙ.
ඒ බව හොඳින් අවධාරණය කර ගනිමින් වත්මන් අභිනව අගමැතිතුමිය ඇතුළු පිරිස පිළිබඳව මේ රටේ ජනතාව තබා වැඩි විශ්වාසයක් තබා බලයට පත් කරගෙන තිබෙනවා. එය ගිහි පැවිදි හැම දෙනාගෙම හිත් තුළ පොදිකමින් තිබුණු බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු අබමල් රේණුවකින් හෝ කඩ නොකොට රටට දිය හැකි ඉහළම අගයන් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
මහෝපාධ්‍යාය මකුරුප්පේ සෝමාලංකාර සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනු නායක මා හිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ පිරිවෙන් හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මාදෝවිට වජිර බුද්ධි නාහිමි, බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති ගාමිණී තිලකසිරි, බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නීතිඥ ජනක වැලිවත්ත, අරුණ පනාගොඩ, රේණුකා ලියනගේ, ප්‍රවාහන මහාමාර්ග වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් රුවන් චන්ද්‍ර කුමාර, හෝමාගම හරිත සරසවියේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
කොට්ටාව – ප්‍රදීප් කුමාර, හබරකඩ සමූහ
ඩී.එම්. ප්‍රියලාල්