Home » ලෝක ජනාවාස දින සැමරුම කොළඹ දී සමරයි

ලෝක ජනාවාස දින සැමරුම කොළඹ දී සමරයි

by sachintha
October 8, 2024 1:00 am 0 comment

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් පැවැත්වූ ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවැනි අදියරේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (07) පැවැත්විණ.

ලෝක ජනාවාස දිනය ඊයේ (07) යෙදී තිබිණ. මෙවර එහි තේමාව වූයේ

“තුරුණු ජවයෙන් සපිරි නගරයක්” යන්නයි.

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එක්ව මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

මෙම සැමරුම් උත්සවයේදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ මහලේකම්වරයාගේ පණිවිඩය ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩසටහන් කළමනාකාරිනී හර්ෂනී හලංගොඩ මෙණෙවිය විසිනි.

මෙහිදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ළමා සිතුවම් තරග, ළමා නර්තන තරග, ළමා කෙටි චිත්‍රපටි තරග, අන්තර් ජනාවාස සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින්ට සහතික පත් හා කුසලාන ප්‍රදානය කෙරුණි.

එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ළමා සිතුවම් තරග හා රචනා තරගයෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට සහතික පත් හා කුසලාන ප්‍රදානය කෙරුණි.

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය අද (08) සිට 13 වැනිදා දක්වා ජනාවාස සතියක් නම් කර ඇත.

අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ. ජානක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහත්වරු ඇතුළු නිලධාරින් හා මවුපියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT