අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බව ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදි. ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාර දී ඇතැයි ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා දන්වා සිටියේය. අල්ලස් කොමිසමේ අධ්‍යකෂ ජනරාල්වරයාගේ පත්වීමට එරෙහිව ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කළේය. ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහීදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා යළිත් අධිකරණ සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින බවය.
එබැවින් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බව ඒ මහතා කීය.
දෙපාර්ශ්වයේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෙත්සම විභාග ගැනීමට අවසර ලබා දුන්නේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කනිෂ්ක විජේරත්න මහතා පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වන රුවිනි ෆොන්සේකා මහත්මිය, බලශක්ති විශේෂඥ විදුර රැළපනාව සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසිනි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, එහි සභාපති නීල් ඉද්දවෙල ඇතුළු එහි සාමාජිකයන්, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කනිෂ්ක විජයරත්න මහතා පසුගිය අප්‍රේල් මස 02 වැනිදා පත්කළ බව පෙත්සම් මඟින් පෙන්වාදී තිබේ. එහෙත් එම ධුරයට පත්වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම ඔහුට නොමැති බව පෙත්සම්වල සඳහන් වේ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් පනතේ 19 වැනි වගන්තිය අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ධුරයට පත්වීමට නම් අවම සුදුසුකම ලෙස අපරාධ නීතිය සම්බන්ධයෙන් නීතිඥවරයකු ලෙස වසර 15ක් පළපුරුද්ද තිබිය යුතුය. එහෙත් මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කරනු ලබන තැනැත්තාට එම මූලික සුදුසුකමක් නොමැති බව පෙත්සම් මඟින් පෙන්වාදී ඇත. කනිෂ්ක විජේරත්න මහතා අධිකරණ නිලධාරියෙක් වශයෙන් පමණක් කටයුතු කළ බව පෙත්සම්වල සඳහන් වේ. එසේම මෙම පත්වීම සිදු කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මඟින් පවරා ඇති වගකීම නිසි ලෙස ඉටු කර නැති බවට පෙත්සම් මඟින් චෝදනා කර තිබේ. එසේ තිබියදී අදාළ පත්වීම සිදු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත. එසේම කනිෂ්ක විජේරත්න මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන විරාන් කොරයා සහ සාලිය පිරිස් මහත්වරු පෙනී සිටියහ. අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.
නෙල්කා මැදගෙදර