බදුල්ල දිස්ත්රික්කයේ රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ දීකිරිගොල්ල ග්රාම නිලධාරී වසමේ වඩුගොඩකන්ද රක්ෂිතයේ කිසියම් පිරිසක් ඩෝසර් යන්ත්ර යොදා ගනිමින් රූස්ස ගස් මුලින් උදුරා දමා අක්කර 20ක පමණ වනාන්තරය එළිපෙහෙළි කර ඇතැයි රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් ඩී.ඩී.එස්. තක්ෂිලා ගුණරත්න මහත්මිය පැවසුවාය.
ප්රාදේශීය ලේකම්වරියට ලැබුණු තොරතුරක් මත සහකාර ප්රාදේශීය ලේකම් කාංචන සමරකෝන්, පරිපාලන ග්රාම නිලධාරී ඩී.එම්. කුමාර දිසානායක, ජනපද නිලධාරී එම්.ඒ.බී. ලහිරු මධුෂාන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඉකුත් දා (04) එම රක්ෂිතයට ගොස් නිරීක්ෂණය කළ අතර, එහිදී අනාවරණය වූයේ ඩෝසර් යන්ත්ර යොදා ගනිමින් මෙම රක්ෂිතයට ප්රවේශ මාර්ග ද කපා රක්ෂිතයේ තිබූ රූස්ස ගස් මුලින් උදුරා දමා අක්කර 20ක පමණ භූමි භාගයක් එළිපෙහෙළි කර ඇති බවයි. ප්රදේශවාසීන් පවසන්නේ බණ්ඩාරවෙල ප්රදේශයේ පදිංචිකරුවකු තමන්ට මෙම ප්රදේශයේ ඔප්පුවක් ඇති බව පවසා මෙම රක්ෂිත ප්රදේශය ඉකුත් 02 සහ 03 දිනයන්හිදී ඩෝසර් යන්ත්ර යොදා ගනිමින් එළිපෙහෙළි කළ බවයි.
මෙම වන විනාසය සිදු කර ඇති ස්ථානයට නුදුරින් අලකොළකඳුර දිය උල්පත ආරම්භ වන අතර, එම දිය උල්පතින් පවුල් 10ක් පමණ පානීය ජලය ලබා ගන්නා බවත්, අලකොළකඳුර දිය පහරින් කුඹුරු අක්කර 15ක් පමණ වගා කරන බවත්, මෙම වන විනාසයත් සමඟ මෙම දිය උල්පත් පවා සිඳී යෑමේ අවදානමක් පවතින බවත් ප්රදේශවාසීහු පැවසූහ. වඩුගොඩකන්ද රක්ෂිතය පසුගිය නියං සමයේ ගිනි තබා පසුව ඉතා සූක්ෂ්මව ඩෝසර් යොදා රක්ෂිතය එළිපෙහෙළි කරමින් පවතින බවත්, මෙම වන විනාශය සිදු කරන පුද්ගලයන් හඳුනාගෙන නීතිමය පියවර ගන්නා බවත් රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය. කෙසේ නමුත් පරිසර හිතකාමී කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම රක්ෂිතයේ දිය උල්පත් රැක ගැනීම සඳහා ප්රාදේශීය ලේකම්වරියගේ මූලිකත්වයෙන් මෙම වසර ආරම්භයේ රුක් රෝපණ වැඩසටහනක් ද සිදු කර ඇතැයි ප්රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙලෙස රක්ෂිත එළිපෙහෙළි කිරීමෙන් මෙම රක්ෂිතයෙන් ආරම්භ වන වඩුගොඩකන්ද රක්ෂිතයේ අලකොළකඳුර දිය උල්පත, ඇල්වත්ත කඳුර උල්පත, මයිලුක්පොත උල්පත සහ දීකිරිගොල්ල කඳුරේ උල්පත ආදී දිය උල්පත් සියල්ල සිඳී යෑමේ අවදානමක් ඇතැයි ද ප්රදේශවාසීහු පවසති. රිදීමාලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඇතැම් පුද්ගලයන් නොතාරිස් ඔප්පු පෙන්වා තමන්ට අක්කර 100, 200 ඇති බව පවසා පිටස්තර පුද්ගලයන්ට ඉඩම් විකිණීමේ ජාවාරමක් සිදු කරගෙන යන අතර, ගැනුම්කරුවන් ද සොයා බැලීමකින් තොරව ඉඩම් මිලදීගෙන මෙලෙස රජයේ රක්ෂිත අල්ලා ගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ.
බදුල්ල දකුණ සමූහ විමුක්ති සංජය පෙරේරා