අනුරාධපුර, මහවැලි එච් කලාපයේ සෝයා වගාවට බෝ වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර දෙදහසක පමණ සෝයා වගාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.
මහවැලි එච් කලාපය තුළ අක්කර 6,000ක පමණ භූමියක ගොවීන් සෝයා වගාව සිදු කර ඇති අතර, මෙම පණු රෝගය හේතුවෙන් ඉන් අක්කර 2,000ක පමණ සෝයා වගාවක් අතහැර දැමීමට තමන්ට සිදුව ඇති බවට ගොවීහු සඳහන් කරති. ඉතා ඉහළ ආර්ථික සහ පෝෂණ වටිනාකමකින් යුතු සෝයා වගාවෙන් ගොවි මහතුන් ඉවත් වුවහොත් දේශීය අවශ්‍යතාව වෙනුවෙන් ඉදිරියේදී රජයට විශාල මුදලක් වැය කර සෝයා බීජ ද සම්පූර්ණයෙන්ම මෙරටට ආනයනය කිරීමට සිදු වන බව එම ගොවීහු පෙන්වා දෙති. සෝයා වගාව තුළ මෙවර විශාල අස්වැන්නක් නිෂ්පාදනය වුවද පණු රෝගය හේතුවෙන් එම කරල්වල සියයට අනූවක් පමණ සෝයා බීජ විනාශයට පත්ව තිබීම හේතුවෙන් ගොවීන් එම අස්වැන්න නෙළීම මේ වන විට අත්හැර දමා ඇත. සෝයා වගාව සඳහා මෙම පණු රෝගය ඇති වූ පළමු අවස්ථාව මෙය නොවන බවත්, මෙම රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හෝ කෘෂි රසායනික ද්‍රව්‍ය නියම කිරීමට හෝ කිසිදු නිලධාරියකු මෙතෙක් කටයුතු කර නැති බවත්, වගා ක්ෂේත්‍රය නිරීක්ෂණය කිරීමට කිසිඳු නිලධාරියකු පැමිණ නැති බවත් එම ගොවීහු චෝදනා කරති. පීඩාවට පත් ගොවීන් වැඩිදුරටත් කියා සිටින්නේ, මෙම පණු රෝගය හේතුවෙන් විනාශ වූ සිය සෝයා වගාවන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දීමට හෝ කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ