පාසලට යාමට ඒමට බස් රථයක් පවා හරිහැටි නොමැතිව, අවම පහසුකම් තත්ත්ව යටතේ පවත්වාගෙන යන ඉංගිරියට නුදුරු ග්‍රාමීය පෙදෙසක පිහිටි හල්වතුර කනිෂ්ඨ විද්‍යාලය සංගීත අංශයෙන් ප්‍රථම වරට පළාත් මට්ටමින් ජයග්‍රහණ ද්විත්වයක් ලබා ගැනීමට සමත්ව ඇති අතර, එය විද්‍යාලයීය ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්ව ඇත.
ඒ අනුව සමූහ ගායනා විවෘත මිශ්‍ර දමිළ චිත්‍රපට ගීත සහ සමූහ මිශ්‍ර විශේෂ ශෛලීගත නාට්‍ය ජවනිකා යන දෙඅංශයෙන්ම බස්නාහිර පළාතෙහි සියලු පාසල් අබිබවා ඔවුන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර, පුහුණුවීම් කටයුතු සඳහා ප්‍රමාණවත් තරම් වාද්‍ය භාණ්ඩ පවා නොමැතිව ඔවුන් ලබා ගත් මෙම ජයග්‍රහණ සැබවින්ම අගය කළ යුතුය. විදුහල්පතිනි පී.කේ. රම්‍යා පල්ලෙවත්ත, සංගීත ආචාර්ය පී. ලහිරු සවින්ද, නර්තන ආචාර්ය එස්.යූ. රණසිංහ යන මහත්ම මහත්මීන්ගේ දැඩි කැපවීම මත මෙම ජයග්‍රහණ ලබාගත් හල්වතුර කණිෂ්ඨ විදුහලෙහි සමස්ත සිසුන් සංඛ්‍යාව 121කි. විදුහල තෙක් පැමිණීමට ඇති මාර්ගයේ ධාවනය වන්නේ එකම ලංගම බස් රථයක් පමණක් බවත්, එම බස් රථයෙහි රියැදුරු සහ කොන්දොස්තරවරයා නිවාඩු ලබාගන්නා දිනවලට මෙන්ම බසය කාර්මික දෝෂයන්ට ලක්වන දිනවලදී දරුවන්ට පාසල වෙත පැමිණීමට නොහැකි වන බවත්, විද්‍යාලයීය සංගීත හා නැටුම් අංශයන්හි වාද්‍ය භාණ්ඩ ප්‍රමාණවත් නොවන අවස්ථාවන්වලදී ඒවා බාහිරින් සපයා ගැනීමට සිදුවන බවත් මේ පිළිබඳ සිදුකළ කරුණු විමසුමකදී දැනගැනීමට ලැබුණු අතර, එවන් තත්ත්වයක් මත විදුහලේ දරුවන් ලබා ගත් මෙම ජයග්‍රහණය සියලු පහසුකම්වලින් පරිපූර්ණ නගරබද අනෙකුත් පාසල් සියල්ලටම මහත් වූ ආදර්ශයකි.
ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල