Home » ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් අවසන් වටයට යෑමේ සුළු ඉඩකඩක් තියෙනවා

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කළොත් අවසන් වටයට යෑමේ සුළු ඉඩකඩක් තියෙනවා

-නායිකා චමරි අතපත්තු

by sachintha
October 8, 2024 2:34 am 0 comment

ඉදිරි තරග දෙකම ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇත්නම් අවසන් පූර්ව වටයට යෑමට සුළු ඉඩකඩක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පැවැසුවාය. ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල හෙට (9) ඩුබායි තණතිල්ලේදී ඉන්දියාවට එරෙහි සටනට පිවිසෙන අතර 11 වැනිදා නවසීලන්තයට එරෙහි තීරණාත්මක අවසන් තරගයට එක්වේ.

සාජා තණතිල්ල මන්දගාමී වුවත්, ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තණතිල්ල එයට වඩා වෙනස් වනු ඇතැයි ශ්‍රී ලංකා නායිකාවගේ විශ්වාසයවී තිබේ.

“අපේ පිතිකරණ අංශය තණ තීරුවේ ස්වභාවයට අනුව හැඩ ගැසෙන්න අවශ්‍යයි. මේ තණතිලි පිතිකරණයට යෝග්‍යයි. නමුත් ලකුණු හඹා යෑමේ දී අපිට අසීරු තත්ත්වයක් ඇති වුණා. ඒක හැම කණ්ඩායමකින්ම දක්නට ලැබුණා. අපි හොඳින් පන්දු යැව්වා. තණ තීරුව මන්දගාමී වුණා කියලා වගේ කතා අපිට කියන්න බැහැ. අපි හොඳින් ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගයේදී නොබියව ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඔවුන් හොඳ කණ්ඩායමක්. තරගයට හොඳින් අවතීර්ණ වීමයි වැදගත් වෙන්නේ” චමරි අතපත්තු පැවසුවාය.

“පළමු ඕවර් 6දී අපේ කඩුලු බිඳ වැටුණා. ඒ වගේම ලකුණු ආවේ නෑ. පවර් ප්ලේ එකේදී හොඳ ආරම්භයක් ගන්න ඕනේ. පවර් ප්ලේ එකේ පන්දු 36ට ලකුණු 40ක් 45ක් ගහන්න ඕනේ. එතකොට අපිට ඉදිරිය සැලසුම් කරන්න හැකියාව ලැබෙනවා. පන්දු යැවීම ගැන අපිට ගැටලුවක් නෑ. පිතිකරණය තවත් දියුණු වෙන්න ඕනේ. ඒ වගේම පිතිකරණයේදී වගකීමකින් කටයුතු කළ යුතුයි. අපේ ශක්තිය පවර් ප්ලේ එකේ හොඳින් ලකුණු රැස් කිරීමයි. නමුත් ඒක වුණේ නෑ. සාජා තණතිල්ලේ ලකුණු 120ක් 125ක් හොඳටම ඇති. ඩුබායි තණතිල්ල වෙනස් විදිහට හැසිරෙයි කියා හිතනවා“ ශ්‍රී ලංකා නායිකාව පැවසුවාය.

“ නිමාවූ තරග දෙකේදීම අපේ අතපසු වීම් වැඩියි. එහෙම වුණාම තරග දිනන්න අපහසු වෙනවා. අපි පහුගිය මාස දෙකේ හොඳට ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒකට විශේෂ හේතුව පිතිකරණයට සුදුසු තණතිලි ලැබීමයි. ලෝක කුසලාන තණතිලි හිතුවට වඩා වෙනස් වුණා. අපට මේ දේවල් ගැන පැමිණිලි කළ නොහැකියි. සෑම විටම ධනාත්මක ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි. ඉතිරි තරගවලදී අපේ ගමන් මඟ වෙනස් කළ යුතු වෙනවා“ චමරි පැවැසූවාය.

ශ්‍රී ලංකා කාන්තා පිල ඊයේ ඩුබායි ජාත්‍යන්තර පිටියේදී පුහුණු සැසියකට එක්වූ අතර, ඉන්දියාවට එරෙහි තරගයේදී සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් නොවිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT