Tuesday, May 13, 2025
Home » වහලෙන් වැටී පැති බැම්මේ කම්බි කූරු ඇනී අයෙක් මරුට

වහලෙන් වැටී පැති බැම්මේ කම්බි කූරු ඇනී අයෙක් මරුට

by sachintha
October 9, 2024 1:37 am 0 comment

දෙමහල් නිවෙසක වහලයක් සකස් කරමින් සිටි වඩු කාර්මිකයෙක් එම වහලය මතින් පහළට ඇද වැටී සිරුර හරහා කම්බි කූරු දෙකක් පසාරු කරගෙන ගොස් මරණයට පත්වූ ශෝචනීය පුවතක් කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෙරේදා (07) දහවල් සිදු වූ මේ අනතුරින් මිය ගොස් ඇත්තේ අංක 219/බී, ජනරජ මාවත, හල්ලොලුව ලිපිනයේ පදිංචිව සිටි ලක්ෂ්මන් රංජිත් මාරසිංහ නමැති 55 හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.

ලක්ෂ්මන් මාරසිංහ තවත් සිව්දෙනකු සමඟ හල්ලොලුව, බෝගහකන්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවෙසක වහලය සකස් කරමින් සිටියදී එහි ලීයක් කඩාගෙන පහළට ඇද වැටී තිබේ. එලෙස ඇද වැටුණු මොහු එම නිවෙස ආසන්නයේ පිහිටි මාර්ගයක පැති බැම්ම සකස් කිරීමට යොදා තිබූ යකඩ කම්බි කූරු දෙකක් මතට වැටී ඇති අතර, එසේ වැටුණු මොහුගේ සිරුරේ පපු ප්‍රදේශය පසාරු කරගෙන යකඩ කූරු දෙක ඇනී ඇත.

සේවකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුගේ සිරුර පසාරු කරගෙන ගොස් තිබූ යකඩ කම්බි කූරු ග්‍රයින්ඩරයක් උපයෝගි කරගෙන කපා එම යකඩ කූරු ද සමඟ පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට පියවර ගෙන තිබුණි. කඩිනමින් රෝහලට රැගෙන ගියත් සිදුව ඇති තුවාල සහ අධික ලෙස රුධිර වහනය නිසා ඔහු රෝහල්ගත කිරීමටත් පෙර මියගොස් තිබේ. ලක්ෂ්මන් මාරසිංහ දක්ෂ වඩු කාර්මිකයකු වන අතර, ප්‍රදේශයේ සමාජ සේවාවල නිරතව සිටි අයෙකි.

මියගිය ලක්ෂ්මන් මාරසිංහගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (08) සිදු කිරීමට නියමිතව තිබුණි.

කටුගස්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. කුලසේන මහතාගේ මෙහෙයවීමෙන්, පො. සැ. (47088) අමරකෝන් සහ පො.සැ. (52156) රංජිත් නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කටුගස්තොට සමූහ එස්. ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT