මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කර ඒ ඔස්සේ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් රවටා ඉතා කෙටි කලක දී රුපියල් ලක්ෂ 30ක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් නිර්මාණය කළ ව්‍යාජ සබැඳිය සමාජ මාධ්‍යයට මුදාහැර ඒ ඔස්සේ විවිධ තරඟ පවත්වා ජයග්‍රහකයින්ට මුලින් සුළු මුදල් ත්‍යාග ලබා දී ඇත.
ඒ ඔස්සේ විශ්වාසය ගොඩනඟා ගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරික ආයතනය මගින් පවත්වනු ලබන ඉහළ වට්ටම් සහිත වෙළඳ භාණ්ඩ අළෙවි වැඩසටහන්වල භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඇතැයි පවසමින් ඔවුන් ගෙන් ගිණුම් නවයකට මුදල් ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු එකවර මුදල් ගෙන්වා නොගෙන රුපියල් ලක්ෂ එකහමාර දෙක වැනි ශේෂයක් දක්වා මුදල් ගෙන්වා ගැනීමෙන් පසු දුරකතන අංක අවහිර කරන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
තණමල්විල ප්‍රදේශයේ බැංකුවක විවෘත කරන ලද බැංකු ගිණුම් දෙකක් ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු එම ප්‍රදේශයේම නිවසක සැඟව සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු අපොස සාමාන්‍ය පෙළ විභාගය පවා අසමත් වූ අයෙකු බවත් මොහු විසින් රැවටීමට ලක් කළ පුද්ගලයින් අතරින් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල සිසුන් බවත් හෙළිව තිබේ. මෙම මහා මුදල් ජාවාරම මෙහෙය වූ බවට සැක කරන තවත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන සිදු කරයි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක වීරසිංහ, උප පොලිස් පරීක්ෂක ධම්මික, පොලිස් සැරයන් (32874) ජයවර්ධන සහ (69707) හේමසිරි යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.