ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක නවයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ නාය යෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත. ගංගා අවට සිටින ජනතාව සහ නාය යාම අනතුරු ඇඟවීම් සිදුකර ඇති ප්‍රදේශවල සිටින ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි.
විශේෂයෙන්ම නාය යාම් ලක්ෂණ පිළිබඳවත් දිය උල්පත් මතුවීම, ගස් සහ විදුලි කණු ඇලවීම, පොළව ඉරිතැළීම් දුටුවහොත් තාවකාලිකව එම ප්‍රදේශ වලින් ඉවත් වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. 117 දුරකතන අංකය පැය 24 පුරාම හදිසි මෙහෙයුම් සඳහා විවෘතව පවතින අතර ගංගා අවට සහ කඳුකර අවදානම් කලාපවල මුදා ගැනීමේ කණ්ඩායම් දැනටමත් ස්ථානගත කර තිබේ.
කැලණි ගංගා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බැවින් ඉදිරි පැය 48ක කාලයක් තුළ කැලණි ගඟ නිම්නයේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොලොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
මේ අතර අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශ කිහිපයක ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. අත්තනගලු ඔය ද්‍රෝණියේ ප්‍රදේශවලට පසුගිය පැය 24 පුරාවට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් සඳහා ද ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇත.
මේ අතර නිල්වලා, කැලණි, ගිං ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින අතර කළු ගඟේ ජල මට්ටම මුවගම ස්වංක්‍රිය ජල මාපකයේ මීටර් 5.2ක් වූ පිටාර මට්ටමට ඉහළින් සුළු ගං වතුර අවදානම් මට්ටමකට පැමිණ තිබේ. සැඩ පහර වැඩි බැවින් ගංගා ජලය භාවිත කිරීමේදී සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ඊයේ (11) තාවකාලිකව වසා දැමිණි.