පළමු ඉනිමේදී ලකුණු 500 සීමාව පසු කළත් ටෙස්ට් තරගයක් ඉනිමකින් පරාජයට පත්වූ පළමු කණ්ඩායම ලෙස පාකිස්තානය ඊයේ වාර්තා අතරට එක් විය.
මුල්තාන්හිදී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී පාකිස්තානයට ඉනිමක සහ ලකුණු 47ක පරාජයක් උරුම විය.
මේ තරගයේ පළමු ඉනිමේදී ලකුණු 267ක් පසුපසින් සිය දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තානය පෙරේදා තරගයේ සිව්වැනි දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 152ක් ලබා සිටි අතර, ඊයේ ඉනිම ලකුණු 220කින් නිමා විය. මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 556ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 7ක් දැවී තිබියදී ඉනිම අත්හිටුවූයේ ලකුණු 823ක් රැස් කර තිබියදීය.
මින් පෙර පළමු ඉනිමේදී ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් ඉනිමකින් පරාජය වූ කණ්ඩායම ලෙස අයර්ලන්තය වාර්තා අතර සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයේදීය. එහිදී අයර්ලන්තය පළමු ඉනිමට ලකුණු 492ක් රැස් කළත් ඔවුන් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් පරාජයට පත් විය.
එංගලන්ත පිල ආසියානු තරග බිමේදී ටෙස්ට් තරගයක් ඉනිමකින් ජය ගත්තේ වසර 48කට පසුව වීම කැපී පෙනුණු අතර, පාකිස්තානය 2021 වසරෙන් පසු සිය රටේදී ටෙස්ට් තරගයක් ජය ගැනීමට සමත්ව නැත. ඔවුන් 2022 සිට සිය රටේදී ක්‍රීඩා කළ තරග 11කින් 7ක් පරාජය වී ඇති අතර, ඉතිරි තරග 4 ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.
වසර 34කට පසුව එංගලන්තය වෙනුවෙන් ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ හැරී බෲක් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.
දෙපිල අතර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය මේ 15 වැනිදා මුල්තාන්හිදීම ආරම්භ වේ.