Home » සිංහල සාහිත්‍යය තවමත් අන්තර්ජාතික තලයට එසවිලා නෑ

සිංහල සාහිත්‍යය තවමත් අන්තර්ජාතික තලයට එසවිලා නෑ

-අමාලි අනූපමා මල්ලවආරච්චි

by sachintha
October 14, 2024 1:34 am 0 comment

අමාලි අනූපමා මල්ලවආරච්චි වෘත්තියෙන් භාෂණ සහ භාෂා පරිවර්ත­ිකාවක වන අතර, දීර්ඝ කාලයක් මුළුල්ලේ ජනමාධ්‍යවේදිනියක ලෙස ද සේවය කර ඇති අයෙකි. එසේම ඈ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පිළිබඳ ගෞරව උපාධිධාරිනියකි. ඇය කෙටිකතා, කවි, විද්‍යා ප්‍රබන්ධ ආදී ග්‍රන්ථ රචනා කොට තිබේ. ඇය නවතම ග්‍රන්ථය ‘කාලාන්තරාව’යි. ‘කාලාන්තරාව’ගැන අමාලි අනූපමා මල්ලවආරච්චි සමඟ කළ කතාබහ මෙසේ ගෙන හැර දක්වමු.

 

l ඔබ ලේඛන කලාවට ආගමනය වූ අයුරු මතක් කරමු ද ?

මම පාසලේ දී ඉංග්‍රීසි හා සිංහල සාහිත්‍යය විෂයයක් විදිහට හැදෑරුවා. පොත් මුද්‍රණය කරන්න ඕනේ කියලා ඒ දවස්වල ලොකුවට අදහසක් ආවෙත් නෑ. නමුත් අපේ විභාගවලට රචනා ලියනකොට කතාන්දරයට කොටසක් ලියන්න කියලා තියෙනවානේ. ඒක මම හරි ආසාවෙන් කරන දෙයක්. පස්සේ මම පත්තර කලාවට සම්බන්ධ වුණාම මට ලිවීමේ අවස්ථා විවර වුණා.

මගේ පළමු කෙටිකතා සංග්‍රහය, ‘දං පඳුරට ආ රැහැයියා’ 2019 ගොඩගේ අත්පිටපත් තරගයෙන් විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය ලෙස සම සම්මානයට

පාත්‍ර වුණා. ඒ වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහාත් ඒ කෙටිකතා පොත නිර්දේශ වුණා. මගේ දෙවැනි කෘතිය ‘කාලාන්තරාව’ විද්‍යා ප්‍රබන්ධයක්. එ‍යත් ගොඩගේ අත්පිටපත් තරගයේ ඇගයීම් ලද කෘතියක්. ඊට සමගාමීව ප්‍රකාශිත වූ Graveyard my back garden මගේ පළමු ඉංග්‍රීසි කවි එකතුවයි.

l ‘කාලාන්තරාව’ හුදෙක් විද්‍යා ප්‍රබන්ධයක්ම නෙවෙයි නේද ?

කාලාන්තරාව තුළ විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ, දිස්තෝපීය ලක්ෂණ සහ ෆැන්ටසි ලක්ෂණ වැඩි හා අඩු වශයෙන් අඩංගු වෙනවා. මම ලිවීමේදී විවිධ ශානරවලට හෝ රාමුවලට කොටු නොවී, ඒ සීමාවන් ඉක්මවා යමින් ලියන නිසා මේ විවිධ ලක්ෂණ “කාලාන්තරාව” තුළ ඇතුළත් වෙන්න පුළුවන්. මෙහි පශ්චාත් නූතන ලිවීම් ප්‍රවර්ගයේ ලක්ෂණත් දකින්න පුළුවන්.

“කාලාන්තරාව” ඇතුළෙදී මම යම් යම් භූ-දේශපාලන, ආර්ථික සහ සමාජ කරුණු ඉස්මතු කර පෙන්වා තිබෙනවා. ඒ සියල්ල තිබෙන්නේ කතාවේ පසුබිමින්. නිර්මාණයක් තුළ මම සෘජුව දේශපාලනික ස්ථාවරයන් ස්ථානගත නොකළත් ඒ බලපෑම් නිරායාසයෙන්ම විවිධ සිද්ධි, චරිත ඔස්සේ ඉස්මතු වෙනවා.

l ‘කාලාන්තරාව’ භාෂා භාවිතය කවරාකාර ද ?

මගේ සාමාන්‍ය ලිවීමේ විදිහ මොඩර්න් එකක් කියලා බොහෝ අය කියනවා. මම භාෂා දෙකක් හසුරවද්දී ඒ ආභාසය මගේ සිංහල ලිවීම තුළ නිරායාසයෙන්ම ගොඩ නැඟෙනවා. එය මට අවිඥානිකව සිදු වන දෙයක්. මගේ කෙටිකතා සංග්‍රහයට, කාලාන්තරාවට ඉඟි වැකි, රූඩි වෙනත් විදිහට පාවිච්චි කරනවා. එය ආයාසයකින් තොරව මට එන දෙයක්. මම විශේෂ භාෂා හැසිරීමක් කරන්නේත් නෑ. මගේ ඔළුවට ඒ වෙලාවට එන දේ මම ලියනවා. පසුව තමයි මම සංස්කරණය කරන්නේ. දෙතුන් වරක් සංස්කරණය කරලයි අවසන්වරට මම එළියට දාන්න උත්සාහ කරන්නේ.

l ග්‍රන්ථ නිර්මාණයක් කිරීමේදී පර්යේෂණයක වැදගත්කම ඔබ දකින්නේ කොහොමද ?

‘කාලාන්තරාව’ ලියැවෙන්නේ කොරෝනා අවධියේයි. ලියන්න අලුතින්ම විෂය පථයක් විවෘත වෙන්නේ මේ කාලයේ ලබපු අත්දැකීම් නිසයි. ලොකු පීඩාවක්, මානසික ආතතියක් අපට බලපෑම් කළ කාලයක්. මේක ලියලා ඉවර වෙනකොට මම අලුත් අම්මා කෙනෙක් කියන හැඟීමක් ආවා.

නිර්මාණකරණයේදී පර්යේෂණය, අධ්‍යයනය සහ අත්දැකීම් කියන සියල්ල ඉතාම වැදගත්. නිර්මාණයක් ගතික ස්වභාවයක් ගන්න නම්, ඒක බහුතරයකට “දැනෙන්න” (relatable) නම් ඔය ඉහත කී සියල්ල සමබරව නිර්මාණයක ඇතුළත් විය යුතුයි. නිර්මාණයක් සර්වකාලීන වෙන්නෙ එතකොටයි. නමුත් නිර්මාණකරුවෙක් මතක තියාගන්න ඕනෙ තමන් මේ පර්යේෂණය කරන්නෙ සාහිත්‍ය නිර්මාණයක් සඳහා කියන එක. එතකොට ඔබ පර්යේෂකයෙක් නෙමෙයි. ඔබ ලියන්නෙ පර්යේෂණ පත්‍රයක් නෙමෙයි. ඔබේ සීමාවන් ඔබ හඳුනාගන්න ඕනෙ. නැත්නම් වෙන්නෙ ඔබ, ඔබ විසින් සොයාගත්තු කරුණු, දත්තවලින් මිරිකිලා අන්තිමට ඔබේ නිර්මාණයට අනවශ්‍ය ලෙස ඒවා ඇතුළු කරන්න උත්සාහ කරනවා. මේ information dumping (තොරතුරු අනවශ්‍ය ලෙස ගොඩ ගැසීම) කියන එකෙන් නිර්මාණය නීරස වෙනවා. ඒ නිසා ඔබ මේ සියල්ල සමබර කරගැනීම අධ්‍යයනය තරමටම වැදගත්.

l ඔබ වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කර තිබීම ඔබේ ලිවීමට පන්නරයක් වුණේ කොහොමද ?

ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් විදිහට මට සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ව හමුවෙන්න, නොයෙක් තැන්වලට යන්න, අත්දැකීම් ලබන්න අවස්ථාව ලැබුණා. බොහෝ දේවල් දිහා විවිධ කෝණවලින් දකින්න පුරුදු වුණා. ඕනෑම ආතති අවස්ථාවක වුණත් ලිවීමට පුහුණුව ලැබුණා. මම ලියන දේ ගැන වගවෙන්න, සංස්කරණය කරන්න පුරුදු වුණා. පත්තරකාරියක් විදිහට මට ඒ ලැබුණු අභ්‍යාසය වෙන කිසිදු වෘත්තියකින් ලබාගන්න බැහැ. ඒ අභ්‍යාසය මට ලියන්නෙක් ලෙස සාර්ථක වීමටත් ඉවහල් වුණා කියලා මම විශ්වාස කරනවා. ජනමාධ්‍යවේදියකුගේ ලිවීම සහ ලේඛකයකුගේ ලිවීම එකිනෙකට බොහෝ වෙනස්. නමුත් ඒ ලිවීම් දෙවර්ගයේ වෙනස හඳුනාගත්තාට පසුව ලිවීමේදී ගැටලු මතුවුණේ නැහැ.

l ඔබ වෘත්තියෙන් කථන පරිවර්තනය, භාෂා පරිවර්තනය, ලේඛන කලාව ආදී ක්ෂේත්‍ර කිහිපයක වැඩ කරන්නියක් විදිහටයි අප හඳුනාගන්නෙ. ඔබේ ඊළඟ නිර්මාණය කුමනාකාර වේවි ද?

ඊළඟට මම මොන විදිහේ නිර්මාණයක් කරාවි දැයි මට හරියටම අදහසක් නැහැ. නමුත් ආපහු කෙටිකතා පොතක් කරන්න ආශාවක් සහ සැලසුමක් තියෙනවා. දැනට වැඩි අවධානය ඒ ගැන තමයි.

l ඔබේ ලිවීම් කෙටිකතා, විද්‍යා ප්‍රබන්ධ සහ ඉංග්‍රීසි කවි එකතුවක් ලෙස වෙනස් කාණ්ඩ යටතට වැටෙනවා. ලේඛකයකු ලෙස ඔබ මෙම විවිධ ශානරයන් අතර සැරිසරන්නේ කොහොමද ?

මම ලිවීම ආරම්භ කරන විට, මම ශානර හෝ සාහිත්‍ය ආකෘති ගැන සැලකිලිමත් වන්නේ කලාතුරකින්. ලියන්න පටන් ගන්නකොටම නිර්මාණයක් මේ ශානරයේ කියල ලේබල් කරන්න මම උනන්දුවෙන්නෙ නෑ. මට වැදගත්ම දේ තමයි මගේ මනසේ කැරකෙන කතා, චරිත, කතාංග සහ සිදුවීම්වලට වචනවලින් පණ දෙන එක. මගේ පද්‍ය සහ ගද්‍ය රචන‍ෙය් මායා යථාර්ථවාදය, අධියථාර්ථවාදය ඇතුළු විවිධ ශෛලීන් ඇතුළත් වෙනවා. භාෂා දෙකකින් ලිවීමේ නිරතවන කෙනෙක් වීමත් මේ විවිධ ශානර ඔස්සේ ලිවීමට හේතුවක් වෙන්න ඇති. මොකද, සමහර කතන්දර සිංහලෙන් ද අනෙක් අවස්ථාවල ඉංග්‍රීසියෙන් ද මගේ මනසට එන්නෙ. මම මගේ අභ්‍යන්තර කටහඬ විශ්වාස කරගෙන ලියනවා. ඒවා විවිධ ශානරවලට වෙන් වෙන්නෙ ලිවීම අවසානයේදීයි.

l ලේඛකයන්ට සම්මාන අවශ්‍යම ද ?

ලේඛකයන්ට විතරක් නෙවෙයි, ඕනෑම විෂයයක ඇගයීමකට පාත්‍රවීම කියන්නේ හොඳ දෙයක්. එය ලේඛකයා පොළඹවනසුලු ධනාත්මක කාරණයක්. නමුත්, හුදෙක් එක් පාර්ශ්වයකට, එක් පිරිසකට, ජ්‍යෙෂ්ඨයන්ට පමණක්ම අගය කිරීම් සිදු වෙනවා නම් මම ඊට එකඟ නෑ. නිර්මාණය හොඳයි නම් සැලකිල්ල දක්වන්න ඕනෑ එයට පමණයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිංහල සාහිත්‍යය තවමත් අන්තර්ජාතික තලයට එසවිලා නෑ, ඒ ප්‍රමාණය මදියි. ලෝක ප්‍රසිද්ධ ලේඛකයන් තමන්ගේ නිර්මාණ කළේ තමන්ගේ මව් භාෂාවෙන් මිසක් ඉංග්‍රිසියෙන් නෙවෙයි. පසුව හොඳ පරිවර්තන හරහා ඒවා ලෝකය පුරාම විවිධ භාෂා ඔස්සේ පාඨකයන් වෙතට ළඟා වුණා. ශ්‍රී ලංකාවේ පොත් ගැහුවට ලෝක මට්ටමට ගිහින් සමමිතික වෙන්නේ නෑ. ඒ වගේමයි සම්මාන දීමේ කාර්යයත්, යාවත්කාලීන විය යුතුයි. තවදුරටත් සාම්ප්‍රදායික මිනුම් දඬුවල හිරවෙලයි ඉන්නේ. අපට ලෝක සාහිත්‍ය ආමන්ත්‍රණය කළ යුතුයි නම් අපේ සම්මාන දීමේ කාර්යයත් යාවත්කාලීන විය යුතුයි. එහෙම නොවුණොත් චූල සාහිත්‍යය පමණක් අපට ඉතිරි වේවි. සාහිත්‍යය තුළත් සිස්ටම් චේන්ජ් විය යුතු බව මගේ අදහසයි.

 

ශ්‍යාමා සමරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT