2024, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමිකර ගත්තේ දකුණු කොරියානු ලේඛිකාවක වන හැන් කෑන්ය. ඇය කිවිඳියක, නවකතාකාරියක මෙන්ම කෙටිකතාකාරියක ද වන්නීය. ආසියාවේ සාහිත්‍යය තුළ නොබෙල් ත්‍යාගය දිනාගත් එකම කාන්තා චරිතය ලෙස ද ඇයට වටිනාකමක් හිමිවනු ඇත. නොබෙල් සාහිත්‍ය කමිටුව පෙන්වා දෙන අන්දමට ඇය සිය කෘතීන් සඳහා භාවිත කරන නිර්මාණාත්මක භාෂාව සුවිශේෂී වෙයි. එය පාඨකයාගේ මනසට කතා කරන හෘදය සංවේදී කාව්‍යාත්මක භාෂාවකි. හැන්” ජීවිතයටත් – ආත්මයටත් එකවර කතා කරන බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති.
ලෝක ප්‍රකට සාහිත්‍ය විචාරකයකු” නීතිවේදියකු හා භාෂා විශේෂඥයකු වන මහාචාර්ය ස්ටැන්ලි ෆිෂ් පෙන්වා දෙන අන්දමට ප්‍රබන්ධයක ජීවය රැඳී ඇත්තේ ලේඛකයා භාවිත කරන භාෂාවේ නිර්මාණාත්මක භාවපූර්ණ භාෂාවට අනුවය. අප භාෂාව මුල්කොට සලකමින් අද නවකතා විචාරය ආරම්භ කරන්නේ අපූරු භාෂා විලාසයක් භාවිත කරමින් නිර්මිත ප්‍රබන්ධයක් ගැන සංවාදයක යෙදීමටය. එම කෘතිය විරාජිනී තෙන්නකෝන්ගේ ‘කැමෙලියා’ නවකතාවයි.
නවකතාව ආරම්භවන්නේ අපූරු නිරූපණයකින් ය. ආකර්ෂණය, අවධානය, අවදානම, කුතුහලය එකවර මතුවන සේ ඇය භාෂාව භාවිත කරයි. එහි ශෛලිය හා රිද්මය අප වසඟයට පත් කරන්නේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
“සඳ බඳු රුවැති මනාලියක වීමේ අපේක්ෂාවෙන් ඇඳේ ඒ අතටත්, මේ අතටත් පෙරැළෙමින් ඒ වන විටත් සිතේ පැවැතියා වූ හරියට මේ යැයි වටහාගත නොහැකි වූ හැඟීමකින් උපන් ආතතිය මුදාහැරීමට වෑයම් කරමින් සිටි ඇනීටා මුළු මහත් රාත්‍රියම නිදිවර්ජිතව ගත කිරීම හේතු කොටගෙන ඇයගේ මංගල දින පාන්දර ජාමයේ මළාක් මෙන් නිදන්නට වූවාය. (ආරම්භය – පිටුව <09)
කතාව ආරම්භයේම අමුතු යමක් සිදුවීමට නියමිත බවට ඉඟියක් ලේඛිකාව විසින් සපයනු ලැබේ. ඇය දීර්ඝ වාක්‍ය භාවිත කරන්නේ වුව ඒවා මනාව ගළපා ගනී. එක වාක්‍යයක් නිර්මාණය වන්නේ ඊළඟ වාක්‍යයට අවශ්‍ය පසුබිම සකස් කරමින්ය. ඡේදය මුතු ඇමිණූ කලෙක මෙන් අපූරුවට ගැළපී ඇත. ඒ අතර හාස්‍යයක් මතු කිරීමට ද උත්සුක වෙයි.
ප්‍රකෘත ජීවිතයේ ගැටුමට මුහුණදෙන මිනිසාගේ සිත වෙඬරු පිඬක් සේ වරින් – වර දියවී යන්නේ ඒවා දරාගත නොහැකි ලෙසය. මේ ඛේදනීය තත්ත්වය නිරූපණය කිරීම සඳහා ප්‍රබන්ධ කතාකරුවා විවිධ උත්සාහයන් දරා තිබේ. එය ජීවිතය හා ආත්මය විනිවිද දැකීමක් සේ සැලකිය හැකිය. මෙය දුෂ්කර කාර්යයකි. මේ සඳහා නවකතාකාරයාට ද යම් දර්ශනයක් තිබිය යුතුය. කතාකරුවා නිකම්ම කතන්දරකාරයකු නොව, දැක්මක් ඇතිව චරිත හා සිද්ධි ගොඩනඟන හා පෙළගස්වන චින්තකයකු බවට පත්විය යුතුය. විරාජිනී තෙන්න්කෝන් කතන්දරයක් කීමට පමණක් නොව, මනුෂ්‍ය ජීවිතයේ ඇතුළාන්තය විනිවිද දැක එහි සියුම් තැන් නිරූපණය කිරීමටත් උත්සුක වෙයි.
මෑතකාලයේ අපේ ස්වතන්ත්‍ර නවකතාවල බොහෝ නිර්මාණ බිහි වී ඇත්තේ භාෂාව ගැන හෝ ජීවිතය ගැන හෝ ගැඹුරු හැඟීමකින් තොරවය. ඒවායෙහි තවත් විශේෂතාවක් වන්නේ භාෂාව ගැන නොසලකා හැරීමය. සමහරු දීර්ඝ වාක්‍ය පටලවා ගනිති. තව සමහරු අර්ථ පටලවා ගනිති. තවත් සමහරු රිද්මය වරද්දා ගනිති. කතාවක් ගළපන ආකාරය සේම එය ඉදිරිපත් කරන විලාසය ද අතිශය වැදගත් ය.
“කැමෙලියා” ප්‍රබන්ධය ඔස්සේ සංවාදයට ලක් කරන වැදගත් විෂය ක්ෂේත්‍ර කිහිපයකි.
(I) ශ්‍රී ලංකාවේ වතු ක්ෂේත්‍රය, වැවිලි කර්මාන්තය, ජාතික දේශපාලනය හා එහි හිමිකාරීත්වය
(II) වතු අංශයේ පාලක පන්තියේ පවුල් සංස්ථාවේ අවුල
(III) ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ සංවිධානගතවීම හා කම්කරු සටන්.
(IV) පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන්වදින මධ්‍යම පාන්තික කාන්තාව
ශ්‍රී ලංකාවට වතු වගාව හිමි වන්න් යුරෝපීය ජාතීන්ගේ ආක්‍රමණයත් සමඟය. පෘතුගාලය, ඕලන්දය, එංගලන්තය, ස්පාඤ්ඤය, ප්‍රංශය වැනි යුරෝපීය රටවල් 15වැනි සියවස ඒ තුළ වෙළෙඳ තරගයක නියැළී උන්හ. එදා ඔවුන්ගේ ධනවත්කම මැනීමේ සාධකය වූයේ රටේ භාණ්ඩාගාරය සතු රත්රන් ප්‍රමාණයයි. යුද බලයේ සංකේතය වූයේ නාවික ශක්තියයි. ශ්‍රී ලංකාවේ වතු – වැවිලි අංශයට ඍජු දායකත්වය සපයන්නේ පෘතුගාලය, ඕලන්දය හා එංගලන්තය යන රටවල්ය. ඔවුන් ආසියාවේ රටවල් ආක්‍රමණය කරමින් වතු වගාවට අවශ්‍ය සාධක දෙකක් සපයාගත් බව පෙනී යයි.
(I) ඉඩම් සම්පත
(II) ශ්‍රමික සම්පත
කෝපි, තේ, රබර්, කොකෝවා වැනි වගාවන් සඳහා යෝග්‍ය දේශගුණය, පස හා පරිසරය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයෙන් සපයාගත හැකි විය. මේ අනුව යුරෝපීය ජාතිකයෝ වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූහ. මේ අනුව ආක්‍රමණිකයා, අධ්‍යාපනය, ආගම, සුබ සාධනය පමණක් නොව නීතිය, අවි – ආයුධ වැනි සාධක ද තම වාසිය සඳහා මනාව යොදාගත් බව පෙනී යයි. ශ්‍රමය භාවිත කිරීමේදී කීකරු, වහල් මානසිකත්වයෙන් යුතුව පවත්වා ගැනීමට ව්‍යාපාරිකයෝ උත්සුක වූහ. එහෙත් මේ තත්ත්වය දිගින් – දිගටම පවත්වා ගැනීම අපහසු විය. කම්කරුවෝ සිය මූලික අයිතිවාසිකම් හා නිදහස පතා සටන් කරන්නට පටන් ගත්හ. මේ වනාහී අපේ ආර්ථිකය හා දේශපාලනය සමඟ බැඳුණු ඉතා වැදගත් කතාන්දරයකි. කතුවරිය එය නිරීක්ෂණය කරයි.
කතාවේ ප්‍රධාන චරිතයක් වන ඇනීටා කම්කරු ජනයා කෙරෙහි සහනුකම්පාවක් ඇති ප්‍රභූ කාන්තාවකි. ඇය ඔවුන්ගේ නිදහස මෙන්ම අයිතිවාසිකම් ද පිළිගනී. ඇයගේ දියණිය වූ කැමෙලියා මෙන්ම කැමෙලියාගේ දියණිය වූ ඇන්ටරී ද කම්කරු පන්තිය කෙරෙහි සාධාරණ ඇසකින් බලා කටයුතු කරන බව කතුවරිය පෙන්වා දෙයි. ඔවුන්ගේ දින පොත් නිරීක්ෂණය කිරීමෙන් මේ බව තවදුරටත් සනාථ කරගත හැකිය.
“මිනිසා විසින් සොයා ගනු ලැබූ දෙවියා නිකමෙකි. නියම දෙවියා බොහෝ කාර්යබහුලය.”
(ඇනීටා – දින පොත පිටුව < 85)
“අනාවැකි නිසැකවම භූතයන් මෙනි. මිනිස්සු භූතයන්ට මෙන්ම අනාවැකිවලට ද බිය වෙති. එහෙත් ඇසීමට හෝ දැකීමට හෝ ආශාවෙන් පොරකති.”
(දින පොත – ඇනීටා – පිටුව < 94)
“පරම්පරා කිහිපයක අකුරු නොහැකියාව විසින් දැරියක දූෂණයකොට මරා දමා තිබිණි.”
(දින පොත – ඇනීටා – පිටුව <151)
“අම්බිගා මෙන් තේ කූඩය පිටේ දරාගෙනම මිය යනවා ද? යන්න ඔබ තීරණය කළ යුතුය. සිතන්නට දැනුම ද දකින්නට සිහින ද නැති මිනිසුන් තම අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදා නැඟී සිටියේ නැත. මම ඔබට සිහින දකින්නට ද, දැනුම ලබන්නට ද උගන්වා ඇත්තෙමි. දැන් ඔබගේ වාරයයි.”
(දින පොත – ඇනීටා – පිටුව <211)
ඇනීටා කම්කරු පන්තියේ ඛේදනීය යථාර්ථය හෙළිදරව් කරනවා පමණක් නොව, තමාගේ ආත්මීය ප්‍රකාශනය ද මුදාහරින බව පෙනෙයි. එය හරිම අපූරුය.
මේ දින පොත්වල සටහන් සම්බන්ධයෙන් අත්තම්මා හා මිනිබිරිය අතර සිදුවන වැදගත් සංවාදයක් ඇත. එය ඔවුන්ගේ සංවාදවල උපරිමය සටහන් කරයි.
“ආච්චම්මාට එක දෙයක් වැරදිලා! ඔයා මේ ඔක්කෝම ලියල තියෙන්නෙ පරණ කබල් දින පොත්වලනෙ. ඉතින් මං කොහොමද මේ සිද්ධිවල කාලය හරියටම දැනගන්නෙ?”
“ඔය ලියල තියෙන ඒවා මේ ලෝකයේ ඕනෑම අවුරුද්දක, ඕනෑම දවසක, ඕනෑම ගෑනියකට හරි ඕනෑම පිරිමියකුට හරි වෙන්න පුළුවන් දේවල් නං දිනවලින් ඇති වැඩේ මොකක්ද?”
(ඇනීටා හා ඇන්ටරී සංවාද – පිටුව <222)
කතුවරිය සිය ප්‍රබන්ධය ගොඩනැඟීම සඳහා තෝරාගනු ලබන පසුබිම, චරිත හා සිද්ධි අන්තර්ගතය හා ඉතා හොඳින් ගැළපෙයි.
I. මවුන්ට් මේරී වතුයාය
II. සේරම් බංගලාව
III. ජෙෆ්රි – ඇනීටා යුවළ
IV. දෙමළ කම්කරු ප්‍රජාව
ජෙෆ්රි හා ඇනීටා එකිනෙකාට නොගැළපෙන මාවත් දෙකක ගමන් ගන්නා චරිත දෙකකි. ජෙෆ්රි සිය ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ව්‍යාපාර ඉඩම්, පිරිස් බලය හා දේශපාලනයත් යොදා ගනී. ඔහුට අවශ්‍ය වන්නේ කම්කරු ප්‍රජාව වහල් සේවයේ යොදාගනිමින් තවදුරටත් තම මහේශාක්‍යභාවය ප්‍රකට කිරීමටය. ඇනීටා ඊට වෙනස්ය. ඇය සිය පියාගේ අඩිපාරේ යමින් වෛද්‍ය පර්යේෂණ කරයි. හැබෑවටම ගත්කල ඇයගේ අපේක්ෂාව වන්නේ වහල් සේවයේ යෙදී සිටින දෙමළ වතු ප්‍රජාවගේ සෞඛ්‍යය හා ජීවිතය පිළිවෙළක් කිරීමය. ඇය ඒ වෙනුවෙන් සටන් වදින චරිතයකි. සැමියාගේ පුරුෂාධිපත්‍යය හා බිරියගේ මානව භක්තිය අතර ගැටුම දිගටම පවතියි. ඔව්හු මාස ගණන් එකිනෙකා සම්මුඛ නොවී සැඟව සිටිති. පවුල් සංස්ථාව මුළුමනින්ම අසාර්ථකය.
සේරම් බංගලාව මේ විභේදනයට අවශ්‍ය භූත පරිසරය කදිමට මවාපායි. එය අද්භූත වලව්වක් නැතහොත් බංගලාවක් ලෙස පවතියි. අක්කර දහස් ගණනකින් යුතු වතුයාය හා සිය ගණනක් වූ කම්කරු ප්‍රජාව මේ පරිසරය අවකාශය හා සංකීර්ණ බව එකවර ප්‍රකාශ කරයි.
කතාව කියවා අවසන් කරන පාඨකයා තුළ ජීවිතය පිළිබඳ පරිපූර්ණ බවක් සේම බලාපොරොත්තුවක් ද ගොඩනැඟෙනු ඇත. හරියටම කිවහොත් ‘The New Life’ නවකතාව කියවා හමාර කරන විට ඇතිවන හැඟීම මෙනි. අපූරු කතාවකි. එමෙන්ම අපූරු කාව්‍යාත්මක භාෂාවකි. වාක්‍යවල නිවැරැදිතාව හා අක්ෂර වින්‍යාසය ගැන මීට වඩා සැලකිල්ල යොමු කරන්නේ නම්, කෘතියේ වටිනාකම තවත් වැඩිවනු ඇත.
රන්ජන් අමරරත්න