Sunday, May 11, 2025
Home » වසන්ත සැඩ පහරේ ගසා­ගෙන යනවා මම දැක්කා ශිරාන් සාක්ෂි දෙමින් කියයි
සැඩ පහරට හසුව හල්තොට අයකු මිය යෑම:

වසන්ත සැඩ පහරේ ගසා­ගෙන යනවා මම දැක්කා ශිරාන් සාක්ෂි දෙමින් කියයි

by sachintha
October 14, 2024 1:18 am 0 comment

මට පීනන්න පුළු­වන් නිසා මම ට්‍රැක්ට­රය නතර කරලා වතු­රට පැන්නා. එත­කොටම නැති­වුණ කෙනා මගෙ අතට අහු­වුණා.රියැ­දු­රු හසිත

“වසන්ත පාපැ­දිය නතර කර ඉදි­රි­යට යන්න සූදා­නම් වන විට මම එයාට කිව්වා, ඔයා අරක්කු බීලා නිසා යන්න එපා කියලා. ඒත් වසන්ත ඒක අහන්නේ නැතුව පාරේ ඉස්ස­ර­හට ගියා. මම මඟ නත­ර­වෙලා හිටියා. වසන්ත මීටර් පන­හක් හැත්තෑ පහක් විතර ගියා. මම දැක්කා, එයා සැඩ පහරේ ගසා­ගෙන යනවා.” යැයි සැඩ පහ­රට හසුව මිය ගිය පුද්ග­ල­ය­කුගේ මරණ පරී­ක්‍ෂ­ණ­යේදී ශිරාන් චන්ද්‍ර බණ්ඩාර 42 නමැති අය සාක්ෂි දෙමින් පැවැ­සු­වේය.
මෙසේ මිය ගොස් ඇත්තේ වැලි­ක­ඩගේ වසන්ත කුමාර නමැති 48 හැවි­රිදි දෙදරු පියෙකි. ඔහු තුත්ති­රි­පි­ටිය, හල්තොට ලිපි­නයේ පදිංචි කුලී රැකි­යා­වල නියුතු අයෙකි.
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි මරණ පරී­ක්ෂණ උසා­වි­යේදී පැවති මේ මරණ පරී­ක්ෂ­ණ­යේදී මිල්ල­නිය පොලි­සියේ පොලිස් සැර­යන් 33781 සොයිසා නිල­ධා­රි­යාගේ සාක්ෂි විම­සීම මත තව­දු­ර­ටත් සාක්ෂි­කරු මෙසේ ද පැවැ­සීය.
“මම 302 ඒ, මහ­වත්ත, කෙලෙ­ස්ග­මුව, හල්තොට පදිංචි වෙලා ඉන්නේ. මම රියැ­දුරු රස්සාව කරන්නේ. සිද්ධිය වූ දිනයේ මම ගෙදර හිටියා. පසු­ගිය දින දෙක පුරා තිබුණ අධික වැස්ස නිසා අඟු­රු­වා­තොට මාර්ගයේ හල්තොට වෙල්යාය සම්පූ­ර්ණ­යෙන් වතු­රෙන් යට­වෙලා තිබුණා. හවස දෙක හමා­රට විතර මට බිරිය කතා කර ගංව­තුර බලන්න යමු කිව්වා. පස්සෙ මමයි, බිරි­යයි වෙල්යා­යට ගංව­තුර බලන්න ගියා. එත­කොට මම දැක්කා, ප්‍රධාන මාර්ගය අඩි දෙකක් විතර උඩින් යටවී තිබුණා. මම ගංව­තුර පටන් ගන්න තැන නැවතී ඉන්න කොට මේ නැති­වෙලා ඉන්න වසන්ත පාපැ­දි­ය­කින් එතැ­නට ආවා. මම එයා අඳු­න­නවා. වසන්ත මගේ කරට අත දමා­ගෙන මාව ඉම්බා. එත­කොට එයාගේ කටින් අරක්කු ගඳක් ආවා. වසන්ත පාපැ­දිය නතර කර ඉස්ස­ර­හට යන්න සූදා­නම් වූණා. එත­කොට මම එයාට කිව්වා, ඔයා අරක්කු බීලා ඉන්න නිසා යන්න එපා කියලා. ඒත් එයා ඒක අහන්නේ නැතුව පාරේ ඉස්ස­ර­හට ගියා. මම මඟ නත­ර­වෙලා හිටියා. එයා මීටර් පන­හක් හැත්තෑ පහක් විතර ගිය විත­රයි, මම දැක්කා එයා සැඩ පහරේ ගහ­ගෙන යනවා. මම අවට අයට කෑග­හ­මින් ඉස්ස­ර­හට ගියා. ඒත් මට පිහි­නී­මට බැරි නිසා මම වෙලට බැස්සේ නෑ. මම දැක්කා, වැලි­කඩ වතුරේ ගසා­ගෙන යනවා. පස්සෙ ඔහු නොපෙනී ගියා. පස්සෙ ට්‍රැක්ට­ර­ය­කින් ආව හසිත වතුරේ ගිහින් කිමි­දිලා වසන්ත ගොඩට ගෙනැ­විත් හල්තොට ඉස්පි­රි­ත­ලෙට ට්‍රැක්ට­ර­යේම අරන් ගියා. පස්සෙ දැන­ගත්තා වසන්ත නැති­වෙලා කියලා.”
මෙහිදී සාක්ෂි දුන් හල්තොට කෙලෙ­ස්ග­මුවේ පදිංචි රියැ­දු­රකු වන සුව­න්ද­රගේ හසිත ධර්ම­ව­ර්ධන මහතා
“මේ අන­තුර වූ දව­සේත් ඊට පෙර දව­සේත් අධික වැස්ස නිසා හල්තොට ඔක­න්දුව වෙල්යා­යත්, අඟු­රු­වා­තොට රයි­ගම මාර්ග­යත් සම්පූ­ර්ණ­යෙන්ම ජල­යෙන් යට­වෙලා තිබුණා. ගංව­තුර බලන්න මගේ ට්‍රැක්ට­ර­ය­කින් වෙල්යා­යට ගියා. එහෙම එන­කොට මම දැක්කා, එම ප්‍රදේ­ශය සම්පූ­ර්ණ­යෙන් ජල­යෙන් යටවී තියෙ­නවා. මම ට්‍රැක්ට­ර­යෙන් ටික දුරක් යන කොට එක තැනක සෙනඟ පිරිලා ඉන්නවා දැක්කා. මම ඇහුවා, මොකද කියලා. එයාලා කිව්වා, මේ දැන් කෙනෙක් ගංව­තුරේ ගහ­ගෙන ගියා කියලා. මට පීනන්න පුළු­වන් නිසා මම ට්‍රැක්ට­රය නතර කරලා වතු­රට පැන්නා. වතු­රට පැන්න මම නැති­වුණ කෙනා හෙව්වා. එත­කොට මට නැති­වුණ කෙනා අතට අහු­වුණා. පස්සෙ මම ඔහු ගොඩට ගෙනාවා. ගෙනැ­විත් ඉක්ම­නින්ම ට්‍රැක්ට­රයේ දාගෙන හල්තොට ඉස්පි­රි­තා­ලෙට අරන් ආවා. එහිදී වෛද්‍ය­ව­රුන් පරීක්ෂා කර බලා කිව්වා, නැති­වෙලා කියලා.”
හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ සහ­කාර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී සංජය ගුණ­සේ­කර මහතා විසින් පශ්චාත් මරණ පරී­ක්‍ෂ­ණය සිදු කළේය.
මෙහිදී ඉදි­රි­පත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මේ මර­ණය ගංව­තු­රින් යට වූ මාර්ග­යක ගමන් කිරී­මේදී සැඩ පහ­රට හසුවී දියේ ගිලී හුස්ම ගැනී­මට සිදු වූ අප­හ­සු­තාව මත සිදු වූ මර­ණ­යක් බවට මිල්ල­නිය හදිසි මරණ පරී­ක්ෂක, සාම විනි­සුරු දීපාල් ඖෂ­ධ­රත්න මහතා නිග­ම­නය කළේය.

හල්තොට සමූහ
විනීතා මානෙල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT