Thursday, May 15, 2025
Home » තිරප්පනේ සුහුරු කෘෂි පුහුණු පාසලෙන් ගොවි නායකයන් 1966කට පුහුණුව

තිරප්පනේ සුහුරු කෘෂි පුහුණු පාසලෙන් ගොවි නායකයන් 1966කට පුහුණුව

by sachintha
October 14, 2024 1:25 am 0 comment

ලෝක බැංකු ආධාර මත රුපියල් මිලියන 117ක වියදමින් අනුරාධපුරය, තිරප්පනේ ඉදිකළ දේශගුණික සුහුරු කෘෂිකර්ම පුහුණු පාසලෙන් ගොවි නායකයන් 1966ක් පුහුණු කර 19,600කට අධික ගොවීන් සංඛ්‍යාවකට දේශගුණ සුහුරු කෘෂිකර්මය සම්බන්ධව දැනුම දීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය කටයුතු කර ඇත.

වැඩසටහන් 86කදී මේ පුහුණුව දී ඇති අතර, එයින් පුහුණුව ගත් ගොවි නායකවරියන් සංඛ්‍යාව 788කි. මෙලෙස පුහුණුව ලැබූ ගොවි නියාමකයන් වයඹ, උතුරු මැද, උතුරු, නැඟෙනහිර, ඌව සහ දකුණ පළාත්වලට අයත්ය.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය, දේශගුණ සුහුරු කෘෂිකර්ම තාක්‍ෂණ භාවිතය සඳහා ව්‍යාපෘති බලප්‍රදේශයේ ජීවත්වන ගොවි ප්‍රජාව යොමු කරවීම, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් දරා ගැනීමට සහ අනුවර්තනය කිරීම සඳහා පුහුණු කිරීම මේ පුහුණු පාසල ඉදිකිරීමෙන් අපේක්ෂා කරයි. ව්‍යාපෘති කාල සීමාවේ තක්ෂණික නිලධාරීන් සඳහා පුහුණු සැසිද ක්‍රියාත්මක කරයි.

ගොවි පුහුණු පාසලේ ඉදිකිරීම් කටයුතු 2021 දෙසැම්බර් මස 22 වැනි දින ආරම්භ කළ අතර, 2022 දෙසැම්බර් මස 04 වැනි දින පුහුණු පාසල විවෘත විය. දේශගුණයේ වෙනස්වීම් නිසා දුෂ්කරතාවලට මුහුණ දෙන ගොවීන්ට දේශගුණ සුහුරු කෘෂිකර්ම ක්‍රම භාවිතයන් සහ තාක්ෂණය පිළිබඳ අත්දැකීම් දීම, දේශගුණික විපර්යාස අවම කිරීම, අනුවර්තනය කිරීම, ආහාර සුරක්ෂිතතාව සඳහා වන අභියෝගවලට මුහුණ දීම සඳහා ගොවීන් පුහුණු කිරීම සහ සුහුරු කෘෂිකර්ම භාවිතයන් සහ තාක්ෂණයන් පිළිබඳ අත්දැකීම් දීම ආදියට මේ ගොවිපොළ පුහුණු පාසල භාවිත කරන බව පාසලේ සම්බන්ධීකාරක සජිත් ඒකනායක මහතා පවසයි.

ගම තුළ දේශගුණික සුහුරු කෘෂිකාර්මික දැනුම බෙදාහැරීමට මුල් ප්‍රවේශයක් ඇති කිරීම සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන කොට්ඨාස 47ම ආවරණය වන පරිදි දේශගුණ විපර්යාසවලට මුහුණ දෙන ප්‍රදේශවල පදිංචි ප්‍රතිලාභීන් අතර දේශගුණික සුහුරු කෘෂිකර්ම තාක්ෂණය බෙදාහැරීමත් දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. රටේ දේශගුණික විපර්යාසවල බලපෑමට ගොදුරු විය හැකි සමස්ත ගොවි ප්‍රජාවන් වෙත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දායකත්වය ද ඇතිව දේශගුණික සුහුරු කෘෂිකර්ම තාක්ෂණය සහ භාවිතයන් බෙදාහැරීමට සැලසුම් කිරීම දේශගුණික සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය අපේක්ෂා කරයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT