රජය මඟින් වැටුප් ගෙවා විදුහල්පතිවරයකු සහ ගුරු මණ්ඩලයක් සිටින, දිවයිනේ සියලු අඳ – ගොළු – බිහිරි පාසල්වල පාලන කටයුතු පාලක සභාවෙන් ඉවත් කර එය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා අනුරාධපුර රියන්සි අලගියවන්න විශේෂ විදුහලේ මවුපියෝ පිරිසක් ඉකුත් 10 වැනිදා එම විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
මෙවර පැවති ලෝක ළමා දිනය දා ළමුන් සිවුදෙනකු එම පාසලේ නේවාසිකාගාරය තුළ පූස් පැටියකු ළඟ තබාගැනීමේ සිද්ධියකට උරණ වූ එහි පාලිකාව, එම දරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි. මෙම පාලක මණ්ඩලය ස්වේච්ඡාවෙන් පාලනය කළත් බොහෝ දානපතියන්ගෙන් දරුවන්ට ලබා දෙන කෝටි ගණනක මුදල්වලට කුමක් වනවාදැයි තමන් නොදන්නා බවත්, එම මුදල් දරුවන්ගේ අභිවෘද්ධියට යොදවන්නේ නැති බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ. තමන් මේ සම්බන්ධයෙන් ලිඛිතව හා වාචිකව ඉසුරුපාය, බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණිලි කළ ද මේ වනතුරු මාස හයක කාලයක් ගතව ඇතත්, ඊට නිසි විසඳුම් නොලැබුණු බව එම මවුපිය පිරිස් සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පාසලේ ඉගෙනුම ලබන දරුවකුගේ මවක් මෙසේ පැවසුවාය.
“මගෙ එක දරුවෙක් මේ පාසලේ ඉගෙනුම ලබනවා. මගේ අතේ ඉන්න මේ චූටි අත දරුවාට කතා කරන්න බැහැ. මේ පාසලට තමයි ඇතුළත් කරන්න වෙන්නේ. ඒ දවස වෙනකොට මේ දරුවාට මොන වගේ දෙයක් වෙයි ද දන්නේ නැහැ. අනෙක් කාරණාව තමයි මේ පාසලට එන විදුහල්පතිවරුන්ට හරිහැටි රාජකාරිය කරගෙන යන්න දෙන්නේ නැහැ. මේ පාලක මණ්ඩලය ස්වේච්ඡාවෙන්ලු පාලනය වෙන්නේ. ළමයින්ට අවශ්‍ය හාෆ්ෂීට් කොළයක් ගන්නත් විදුහල්පතිවරයාට හරි අමාරුයි. පාලක සභාවෙන් අවසර ගන්න ඕනේ. පූසෙක් ළඟ තියාගෙන හිටියා කියලා පහරකෑමට ලක් වෙච්ච ළමයකුට නේවාසිකාගාරයේ පාලිකාව ඇති කරන සුනඛයා සපා කාපු අවස්ථා තිබුණා. කතා කරන්න බැරි මේ වගේ අසරණ ළමයින්ට පහරදීලා ඒ ළමයි කොර ගගහ යන අවස්ථා තිබුණා. අවසන් වරට පහරදුන්නු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළත් තවම නිසි විමර්ශනයක් ලැබිලා නැහැ. ළමයින්ගේ තුවාල හොඳ වෙනකන් ඉන්නව ද කියලා අපිට සැකයක් මතු වෙනවා. කාගේ වුවමනාවකට මේවා වෙනව ද කියන එක අපිට ප්‍රශ්නයක්. ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරියගෙන් බැගෑපත්ව අපි ඉල්ලනවා මේ සිද්ධියට මැදිහත් වෙලා සමස්ත රටේම මෙම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසල් රජය මඟින් පාලනය කරන්න කියලා.”
මේ සම්බන්ධයෙන් එම විදුහලේ පාලක මණ්ඩලයේ සභාපති එච්.බී. සේමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.
“අපි වියදම් කරන්නේ නේවාසික ළමයින්ට, ස්වේච්ඡා ගුරුවරුන්ට සහ අනිත් වැඩවලට. මෙය බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. ඉස්සර වගේ නෙමෙයි දැන් ආධාර ලැබෙන්නේ ඉතා අඩුවෙන්. පාසල නඩත්තු කරන්න ඕනේ, මේ නේවාසික ළමයින්ට ආහාර ලබා දෙන්නත් ඕනේ. දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන් කොටසකට වැටුප් ගෙවනවා. අනෙක් ගුරුවරුන්ට අපි තමයි වැටුප් ගෙවන්නේ. ඒ ඇරුණම සියලු දේ වියදම් කරන්නේ පාලක මණ්ඩලය. මේ උද්ඝෝෂණය කළේ ඉතාම සුළු පිරිසක්. මෙතැන නේවාසික දරුවන්ගේ මවුපියන් හිටියේ නෑ. අපි දන්නවා මේ පිරිස මෙහෙයවන්නේ කාගේ වුවමනාවකට ද කියලා.”
අනුරාධපුර සංචාරක – සශිනි මධුෂාණි