Home » මැදවච්චිය සමෘද්ධියෙන් වැඩිහිටියන්ට ඔවදනක්

මැදවච්චිය සමෘද්ධියෙන් වැඩිහිටියන්ට ඔවදනක්

by sachintha
October 14, 2024 1:43 am 0 comment

රටක් වශයෙන් වැඩිහිටි ප්‍රජාව, දරුවන්ගේ ආකල්ප පිළිබඳ හොඳ අවධානයකින් සිටිය යුතු බවත්, කිසිම මොහොතක එකිනෙකා පරයා ආත්මාර්ථකාමීව වැඩ කිරීමට දරුවන්ට පුරුදු නොකළ යුතු බවත් මැදවච්චිය සමෘද්ධි මූලස්ථාන කළමනාකරු රාහුල හේරත් මහතා පැවසීය. පසුගිය 11 වැනිදා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ අංක 66, කටුවෙල තුලානේ ලෝක ළමා දින වැඩසටහනක් පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේය. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මලවිආරච්චි මහත්මියගේ සහ සමෘද්ධි මූලස්ථාන කළමනාකරු රාහුල හේරත් මහතාගේ උපදෙස් පරිදි මැදවච්චිය සමෘද්ධි බැංකු කළමනාකරු නුවන් ලක්මාල් මහතාගේ අධීක්ෂණයෙන් වසම භාර නිලධාරි සනත් ප්‍රේමකුමාර මහතා මෙය සංවිධානය කර තිබුණි. සන් සයින් පෙර පාසලේ දුවා දරුවන් සහ ෆාතිමා පෙර පාසලේ දුවා දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ළමා දින සැමරුම් උලෙළ ඒ මහතා විසින් සංවිධානය කරන ලදි. එම උලෙළ, සිඟිති දුවා දරුවන්ගේ අලංකාර නර්තන කිහිපයකින් වර්ණවත් විය. එහිදී පැමිණි දුවා දරුවන් ඇගයීමට ලක් කිරීමට ද සමෘද්ධි කාර්ය මණ්ඩලය කටයුතු කළහ. පෙර පාසල් දෙකෙහිම දුවා දරුවන්ගේ මවුපියෝ එම ත්‍යාග ලබා දීම සිදු කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමෘද්ධි මූලස්ථාන කළමනාකරු රාහුල හේරත් මහතා මෙසේ ද කීවේය.

“සාමූහිකව වැඩ කරන්න දරුවන්වත් හුරු කරමු. ඒ තැනට මිනිස්සුන්ගේ ඔළුව හැදීමයි දැන් අපි කරන්නේ. මේ ලෝක ළමා දින වැඩසටහනේ අපි කතා කරන්නේ දරුවන්ට නෙමේ වැඩිහිටියන්ට. සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී. කළුආරච්චි මහතාගේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්.සී. මලවිආරච්චි මහත්මියගේ සහ අනුරාධපුර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ. වසන්ත මහතාගේත් සංකල්පය එයයි. ඒ අනුවයි අපි මේ සමාජ සත්කාරය වසම් මට්ටමින් සිදු කරන්නේ. අපේ මතු පරපුර ආරක්ෂා කරගන්න ඕන දම්වැල තමයි මේ අපි නිර්මාණය කරන්නේ. මෙහිදී කුමන බාධක ආවත් අපි සාමූහිකව නැඟිටීම අත්‍යවශ්‍යයි. එවැනි ක්‍රියාවන් සිදු නොකිරීමේ ප්‍රතිඵල තමයි අපි හැමදාම උදේට දකින්නේ පුවත්පත්වලින් තරුණියන් දූෂණය කළා තරුණයින් අතවරයට ලක් වුණා කියලා. එහි මූලික වැරදිකරුවන් මවුපියන්. දරුවන් තමන්ගේ හොඳම යහළුවා කරගන්න. ඔහුගේ ආරක්ෂකයා වෙන්න යන්න එපා. හොඳම යහළුවා වී දරුවන් ආරක්ෂා කරන්න පුරුදු වෙන්න.”

මෙම අවස්ථාවට මැදවච්චිය සමෘද්ධි මූලස්ථාන කළමනාකරු රාහුල හේරත් මහතා, මැදවච්චිය සමෘද්ධි බැංකු කළමනාකරු නුවන් ලක්මාල් මහතා, ව්‍යාපෘති සහකාර උපාලි චන්ද්‍රගුප්ත මහතා, වසම් භාර නිලධාරි සනත් ප්‍රේමකුමාර මහතා, වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරි චාමර ඉලංගසිංහ මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.

කැබිතිගොල්ලෑව සමූහ එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT