අතරමැදියන් විසින් සිදු කළ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන ගසාකෑමෙන් මහත් පීඩාවට පත්ව සිටින ගොවීන් එම වෙළෙඳ මාෆියාවෙන් ගලවාගැනීම සඳහා මීට දශක දෙකකට පමණ පෙර රජයේ මැදිහත්වීම මත ආරම්භ කළ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද මේ වන විට අසරණ ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන කුණු කොල්ලයට ගසාකෑමේ ස්ථානයක් බවට පත් වෙමින් ඇතැයි ගොවි ජනතාව පවසති.
එහි ප්‍රතිඵලයක් වශයෙන් දැනට ඒ-6 මාර්ගයේ ස්ථාන කිහිපයකම ගොවීන් ඒකරාශි වී කුඩා පරිමාණයේ වෙළෙඳ මධ්‍යස්ථාන ආරම්භ කර තිබීම නිසා තමන්ට විශාල සහනයක් සැලසී ඇතැයි පවසන පෙදෙසේ ගොවි ජනතාව, මේ නිසා සිය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් ලබා ගැනීමට හැකි වී ඇතැයි ද කියා සිටිති. තවද මෙසේ සිය කෘෂි නිෂ්පාදන ළඟම ඇති කුඩා පරිමාණයේ වෙළෙඳ මධ්‍යස්ථාන වෙත ගෙනයාමෙන් විශාල ප්‍රවාහන ගාස්තුවක් ඉතිරි වන බව ද මොවුහු වැඩිදුරටත් සඳහන් කරති. එමෙන්ම මෙම කුඩා පරිමාණයේ වෙළෙඳ මධ්‍යස්ථාන වෙත දිවයිනේ විවිධ පෙදෙස්වලින් එළවළු තොග විශාල වශයෙන් ලැබෙන බැවින් ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් එය දිවයිනේ ප්‍රධානපෙළේ එළවළු බෙදාහැරීමේ ස්ථානයක් වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට බලවත් තර්ජනයක් වන බව ඇතැම් ව්‍යාපාරිකයන්ගේ මතය වී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගොවීන් පවසන්නේ මෙම නව කුඩා පරිමාණයේ වෙළෙඳ මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීමත් සමඟම එමඟින් සිය ආර්ථිකයේ ද සෑහෙන වර්ධනයක් නිර්මාණය වී ඇති බවයි. මේ වන විට මෙම කුඩා පරිමාණයේ වෙළෙඳ මධ්‍යස්ථාන තලකිරියාගම, පහළවැව ආදි පෙදෙස්වල ක්‍රියාත්මක වන අතර, ඇතැම් ගොවීන් සිය නිෂ්පාදන ප්‍රධාන මාර්ගය අයිනේ තබා අලෙවි කරන ආකාරය ද සාමාන්‍ය දර්ශනයක් වී ඇත. එමෙන්ම පිට පෙදෙස්වලින් ගැනුම්කරුවන් ද මෙම ස්ථාන වෙත පැමිණීමට පටන් ගෙන ඇති බව ද මෙම මධ්‍යස්ථාන භාරකරුවෝ ද පවසති.
මාතලේ දිස්ත්‍රික් සමුහ ඒ.ඒ.එල්. ඩයස්