Thursday, May 8, 2025
Home » ළහිරු උදාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ආසියානු තරගාවලියට

ළහිරු උදාරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ආසියානු තරගාවලියට

by sachintha
October 14, 2024 1:37 am 0 comment

ආසියානු ක්‍රිකට් කවුන්සිලය නැඟී එන ක්‍රීඩකයන් වෙනුවෙන් සංවිධානය කරන නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් විස්සයි20 තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය ළහිරු උදාරට හිමිව තිබේ.

මේ තරගාවලියට 15 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, ජාත්‍යන්තර තරග වරම් හිමි කරගෙන සිටින රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දුෂාන් හේමන්ත, නිමේෂ් විමුක්ති, නුවනිඳු ප්‍රනාන්දු සහ ලසිත් කෲස්පුල්ලේ මේ සංචිතයට ඇතුළත්ව සිටිති.

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ 22 හැවිරිදි පවන් රත්නායක සමඟ 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක දිනුර කළුපහන සංචිතයට කැඳවා තිබේ.

පසුගිය වසරේ පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසි දිනුර විස්සයි20 තරග 11ක් ක්‍රීඩා කර ඇත.

මේ මස 18 වැනිදා ඕමානයේදි ආරම්භ වන මේ තරගාවලියට කණ්ඩායම් 8ක් එක් වන අතර, ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානයෙන් ‘ඒ’ කණ්ඩායම් තරගාවලියට එක් වෙයි. හොංකොං, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඒ ඒ රටවල ජාතික කණ්ඩායම් එක්වීමට නියමිතය.

තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං තරග වදින අතර, ඉන්දියාව, පාකිස්තානය, එමීර් සහ ඕමානය ‘බී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.

තරගාවලිය ආරම්භ වන 18 වැනිදා ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග වදින අතර, 20 වැනිදා හොංකොං පිලට එරෙහිවත්, 22 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් මූලික වටයේ තරගවලට එක් වෙයි.

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය: ළහිරු උදාර (නායක), යශෝද ලංකා, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්ච්ගේ, පවන් රත්නායක, ඒශාන් මාලිංග, දිනුර කළුපහන, නිපුන් රන්ෂික, ඉසිත විජේසුන්දර, අහන් වික්‍රමසිංහ, කවිඳු නදීශාන්, නිමේෂ් විමුක්ති, දුෂාන් හේමන්ත, රමේෂ් මෙන්ඩිස්.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT