සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ පළමු වරට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ඇළහැර අධ්‍යාපන කොට්ඨාසයට ආත්මාරක්ෂක සටන් කලා ජයග්‍රහණ හිමිව තිබේ.
රත්නපුර නව නගර ශාලා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා ටයිකොන්ඩෝ තරගාවලියේදී ඇළහැර බකමූණ ජාතික පාසලේ ආර්.කේ.ජී. පාරමී නිසංසලා සහ ගල්මුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ඒ.ජී. සංජනා කාවින්දි ලෝකඩ පදක්කම් දිනාගත් අතර, සංජනා කාවින්දි දිගන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති වූෂු තරගාවලියේදී ද ලෝකඩ පදක්කම් දිනා ගත්තාය. එම තරගාවලියේදී බකමූණ මහසෙන් ජාතික පාසලේ කේ.ජී. ප්‍රමෝදි කෞෂල්‍ය ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.
අධ්‍යාපන කටයුතුවලට මෙන්ම විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම්වලට ද දස්කම් දක්වන මේ දැරියන්ගේ මවුපියන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්වලට මුහුණදෙන අතර, ගොවිතැන් කටයුතු තුළින් එදිනෙදා ජීවිතය සරි කර ගනී. පුහුණුවීම් සඳහා අවශ්‍ය කරන බිම අතුරන කාපට් ද නොමැතිව දැඩි වෙහෙසකාරී පුහුණුවකින් ලබාගත් මේ ජයග්‍රහණය ඇළහැර පුරවරයට මහත් අභිමානයක් වී තිබේ.
ගල්මුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩා පුහුණුකරු ආර්.එම්. ශෂික හේමන්ත මහතා යටතේ මේ ක්‍රීඩිකාවන් පුහුණුවීම් ලැබූ අතර, ගල්මුල්ල විද්‍යාලයේ විදුහල්පති ජී. සුගදවංශ ස්වාමීන් වහන්සේ සහ බකමූණ මහසෙන් ජාතික පාසලේ විදුහල්පති ඩබ්ලිව්.ජී. උපාලි වත්තේ ගෙදර මහතා ඇතුළු පාසල් දෙකෙහි ආචාර්ය මණ්ඩලය මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වේ.
ඇලහැර සරත් වෙලගෙදර