Thursday, May 8, 2025
Home » සහන සැලසීමට මිලියන 50 මදිනම් තව මුදල් දෙන්න

සහන සැලසීමට මිලියන 50 මදිනම් තව මුදල් දෙන්න

by sachintha
October 15, 2024 12:09 am 0 comment

දේපළ හානි වන්දි ගෙවීමත් කඩිනම් කරන්න

ජනපති මුදල් අමාත්‍යාංශ ලේකම්ට කියයි

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මේ වන විටත් අතිරේකව වෙන් කර ඇති රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන කඩිනමින් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (14) උපදෙස් දුන්නේය. ආපදා කළමනාකරණ හා මුදල් අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (14) පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මේ උපදෙස් ලබාදුන් අතර කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්‍රමුඛ කාර්යය කර ගන්නැයිද එම නිලධාරීහු හමුවේ අවධාරණය කළේය. මෙම වසරේ දී ගංවතුර තත්ත්වය අවස්ථා දෙකක දී ඇති වූ බවත් ඒ අනුව නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් හෙතෙම මෙහිදී ප්‍රකාශ කළේය. අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම කඩිනම් කර ඉන් පසුව දේපොළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම වසරේ දී මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයේ දී දේපළ හානි පූර්ණ නොවූ ජනතාවගේ ගැටලු පිළිබඳවද සොයා බලා ඊට අදාළ වන්දි ලබාදීම් සිදු කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක, ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ. කරුණානායක, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නාමල් ඉන්දික ලියනගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්, ජී.ඒ.කේ. තිලකරත්න යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT