Home » වංචා විමර්ශන නිලධාරින්ට නුවර නගර සභාවෙන් බුෆේ ලන්ච් එකක්

වංචා විමර්ශන නිලධාරින්ට නුවර නගර සභාවෙන් බුෆේ ලන්ච් එකක්

-ප්ලේට් එකක් රු.2300යි

by sachintha
October 15, 2024 12:11 am 0 comment

මහනුවර මහ නගර සභාව තුළ පසුගිය කාලය තුළ සිදුව තිබෙන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩකටයුතු සම්බන්ධව සොයා බැලීමට පැමිණි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට නගර සභා පරිපාලනය විසින් රුපියල් ලක්ෂ ගණනක් වැයකර බුෆේ ක්‍රමයට සුපිරි ආහාර වේලක් ලබා දී තිබේ. පසුගිය 11 දින පැමිණ තිබෙන මෙම කණ්ඩායමට ප්‍රධාන ලේකම්වරයාට අමතරව මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස්වරිය ද ඇතුළත්ව සිට ඇති අතර පරීක්ෂණයට පැමිණි කණ්ඩායම නගර සභා පරිපාලනය මඟින් ලබාදුන් සංග්‍රහයක් බුක්ති විඳීම සම්බන්ධව… මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන් මහතා ද දෙපාර්ශ්වයෙන් කරුණු විමසීමක් සිදුකර ඇත.

වරිපනම් එකතු කිරීම, කඩ කාමර ටෙන්ඩර් කිරීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන සැලසුම් අනුමත කිරීම, ටෙන්ඩර් ලබාදීම හා මිල දී ගැනීම්වල දී සිදුව තිබෙන මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ විගණන වාර්තා හා විගණන විමසුම් ගණනාවක් නිකුත් වූ නමුත් ඊට සම්බන්ධ නිලධාරීන් පිළිබඳ පරිපාලනය විසින් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම සම්බන්ධව බදු ගෙවන ජනතාව අවස්ථා ගණනාවක දී ප්‍රශ්න කර තිබිණි.

වංචා දූෂණ චෝදනා එල්ල වූ ඇතැම් සේවකයන් වසර 10-15ක කාලයක් ස්ථාන මාරු නොලැබ නගර සභාවේම සේවය කරන බවත් පරිපාලනය ගනු ලබන එකම තීරණය ඔවුන් නගර සභාව තුළම එක් එක් දෙපාර්තමේන්තුවලට මාරු කිරීම පමණක් බවත් දූෂණයට එරෙහි නගර සභා සේවකයෝ පවසති.

මෙම කරුණුද ඇතුළත්ව නගර සභාවේ සේවා කටයුතු විධිමත් කිරීම, කසළ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සක්‍රිය කිරීම, ඒ සඳහා පවතින ගැටලු ආදි කරුණු රැසක් සාකච්ඡා කිරීමට අදාළ නිලධාරීන් පිරිස පැමිණ ඇත්තේ පෙරවරු 9.00ටය. දහවල් 12.00 පමණ වනතුරු පැවැති සාකච්ඡාවට වංචා දූෂණ චෝදනා එල්ලවන නිලධාරීන් කිහිපදෙනකු ද සහභාගි වී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව නගර ශාලාවේ බුෆේ ක්‍රමයට පනවා තිබූ දිවා ආහාරය මෙම පිරිස බුක්ති විඳ ඇත්තේ එකට වාඩිගෙනය. මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයකින් මෙම ආහාර ඇණවුම් කර තිබී ඇති අතර එක් කෑම පිඟානක වටිනාකම රුපියල් 2300ක් පමණ යැයි දැන ගන්නට තිබේ.

මහනුවර මහ නගර සභාව මඟින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් මෙම දිවා ආහාරය වෙනුවෙන් වැයකර තිබෙන්නේ රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේ දී රජයේ ප්‍රතිපත්ති හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කරන ලෙස ජනපතිවරයා සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙන පසුබිමකදීය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුම්වත් කිරීමත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමත් සැලකිල්ලට ගනිමින් අදාළ දිවා ආහාරය සඳහා වැය වූ මුදල නගර සභා අරමුදලින් නොදරා ආහාර බුක්ති විඳි නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන් පෞද්ගලිකව අයකර ගැනීමට නගර සභා පරිපාලනය මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT