Home » ගංවතුරින් අවතැන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණයට කඩිනම් පියවර

ගංවතුරින් අවතැන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණයට කඩිනම් පියවර

by yasara
October 15, 2024 11:48 am 0 comment

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ජලගැලීම් හේතුවෙන් අවතැන්ව කඳවුරුගතව සිටින ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (14) පස්වරුවේ කටයුතු කරනු ලැබීය.

ඒ අනුව කොටුවිල ගාමිණි විද්‍යාලය, කැළණිය කැළණි විද්‍යාලය යන අවතැන් කඳවුරු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය.

එහිදී ගැබිණි මාතාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබද විශේෂ අවධානය යොමු කරන කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට උපදෙස් ලබාදෙන ලද අතර, සනීපාරක්ෂක කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, පානීය ජලය හා අවතැන් ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.

පවතින ගංවතුර තත්ත්වය සමඟ ජල මූලාශ්‍ර අපිරිසිදුවීම හේතුවෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් මතුවන බැවින්  ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ ඇතිවිය හැකි ඩෙංගු, මී උණ, පාචනය ඇතුළු වසංගත රෝග පාලනය සඳහා දැන් සිටම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදි.

තවද ජලගැලීම්වලට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි රෝහල් සම්බන්ධ කරගෙන සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආනල්ඩ්, කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්ද්‍රානි මල්වැන්න, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ හසිත තිසේරා ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයේ  වෛද්‍ය නිළධාරී අසංක වෙදමුල්ල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT