Home » මාව රකින්නෙත් මම රකින්නෙත් ජනතාව

මාව රකින්නෙත් මම රකින්නෙත් ජනතාව

-එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක

by sachintha
October 15, 2024 3:41 am 0 comment

“මට ඡන්ද බලයවත් නෑ කියලා විවිධ කටකතා යූටියුබ් හරහා පැතිර ගියාට මගේ ඡන්ද කාඩ් එක මට ලැබී තියෙනවා. ඒ නිසා මම මයික් එක ලකුණින් මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කර හොරු නොවන කණ්ඩායමක් ඉදිරිපත් කළා.” යැයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (11) නාමයෝජනා පත්‍ර භාරදීමට ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“කවුරුවත් හිතුවේ නැති විදිහට අද එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයට මයික් එක ලකුණින් මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අපි තරග කරනවා. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ක්‍රීඩකයන්ට, නළුවන්ට වගේම ඕනෑම අයකුට දේශපාලනයට එන්න බාධාවක් නෑ.

මම ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයට විරෝධතාවක් ඉදිරිපත් කර තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. නමුත් එය මහමැතිවරණ නීති අනුව නොගැළපෙන එකක් නිසා මෙවර පැවැත්වෙන මහමැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නැති බව තේරීම් භාර නිලධාරී ගම්පහ මහ දිසාපති ලලින්ද ගමගේ මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් මම ඉතාම සතුටට පත්වෙනවා.

හොරකමට, වංචාවට මම කවදත් විරුද්ධයි. ඒ ගැන කතා කළ ක්‍රමයේ වරදිනුයි මට සිරබත් කන්න වුණේ. ඒකත් මට ලොකු අත්දැකීමක් වුණා. මම ගම්පහ දිස්ත්‍රික්කයේ තිබූ පස් මාෆියාව, කුඩු මාෆියාව හෙළිදරව් කළා. ඒ නිසා මට මරණ තර්ජන ආවා. ඒ හේතුවෙන් මම මන්ත්‍රී නිවාසෙක හිටියේ. දැන් මම කිසිම රාජ්‍ය දේපොළක් පාවිච්චි කරන්නෙ නෑ. මම ආරක්ෂකයන් අරගෙන නෑ. මාව රකින්නේ ජනතාව. මම රකින්නෙත් ජනතාව. ලැප්ටොප් ව්‍යාපෘතිය ගෙනාවේ පාසල් දරුවන්ගේ තොරතුරු තාක්ෂණය දියුණු කර අපේ රටේ අනාගත පරපුරට ඩිජිටල් තාක්ෂණය ගැන ජාත්‍යන්තරය ජය ගැනීමට අත්වැලක් වීමට.

මේ රටේ ලොකු පුටුවල විවිධ වර්ගයේ හොරු ඉන්නවා. මම මොනම ක්‍රමේකින් හරි අල්ලන්න හැදුවේ සාක්ෂි සහිතව මේ රටේ ඉන්න මහා පරිමාණ හොරු රැලක්. මම ඒ සඳහා අනුගමනය කළ ක්‍රමවේදය වැරදියි කියලා මට පස්සෙ අවබෝධ වුණා.

මාලිමාවට මගේ විරුද්ධතාවක් නෑ. ඔවුන්ගේ අරමුණත් මගේ අරමුණත් රට වෙනුවෙන් යහපත ඉටු කිරීමයි. දූෂණ සහ වංචාව නැති රටක් නිර්මාණය කිරීමට මගේ සහාය මාලිමාවට අනිවාර්යයෙන්ම දෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව පසුගිය වතාවෙත් මට බලය දුන්නා. ජනතාවගේ කැමැත්ත මට එදත් තිබුණා. අදත් තියෙනවා.”

කැලණිය – කේ. එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT