සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙක් වසරකට සිය ආහාර සඳහා දැරිය යුතු වියදම රුපියල් ලක්ෂ හයකට ආසන්නය. දිනක ආහාර වියදම රුපියල් එක් දහස් පන්සියයේ සීමාවේ රඳවා මේ ආකාරයේ ගණනයක් කළ හැක්කේය. නිෙවසක උයා පිහා ගත් කල්හි මේ ප්‍රමාණය බෙහෙවින් පහළ යන්නේය. එහෙයින් සිවුදෙනෙක් සිටින පවුලක ආහාර වියදම වසරකට ලක්ෂ දහයක සීමාවේ පවතිනවා ඇත. අද ලෝක ආහාර දිනය හෙයින් “සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යැයි සුගත්හු වදාළ පරිද්දෙන් සියල්ලට පෙර ආහාරය යන ආස්ථානයේ සිට අද මේ තීරුව සිය කතිකාව දියත් කරන්නේය.
ලෝක ජනගහනයෙන් කෝටි හතකට වැඩි ප්‍රමාණයක් දෛනිකව බඩගින්නේ වාසය කරන බව පවසන්නේ ලෝක ආහාර වැඩසටහනය. මේ කතා කරනුයේ බඩට යමක් දා ගැනීමට නොහැකි කාණ්ඩය පිළිබඳවය.
2023 වර්ෂයේදී ලෝක ජනගහනයෙන් මිලියන 345කට වැඩි පිරිසක් තීව්‍ර ආහාර අර්බුදය හෙවත් කෑමට කිසිවක් නැති පිරිසක් බවට පත්ව ඇත්තේය. එහෙව් පිරිසක් සඳහා උදාහරණ ඇත්තේ යැයි ජනී ජනයා විශ්වාස නොකරන්නෝය. මෙතරම් දියුණු ලෝකයක එහෙව් පිරිසක් කොතැන වේදැයි ඇතිවෙන සැකය හේතුවෙන්, ඒ සැක දුරු කරනු වස් මැටියෙන් සිය ආහාර කිස නිමවන පිරිසක් පිළිබඳව මේ තීරුව කියා සිටීමට කැමතිය.
ජීවිතේ කිසිදාක කේක් යන ආහාර වර්ගය දැක හෝ නොමැති හයිටි වැසියෝ, ආහාරය සඳහා ගනු ලබන්නේ මැටි කේක්ය. කණ්ඩායම් වශයෙන් එක්වුණ කාන්තාවෝ සැතපුම් ගණන් කඳු තරණය කර සියුම් මැටි සිය නිවෙස් කරා ගෙන එන්නෝය. පසුව මෙහි පදම සඳහා නොව රසය සඳහා ලුණු හා ජලය එක්කරනු ලැබේ. ඉර අව්වේ ඒවා වියළයි. දැන් හැඩයෙන් රොටි සේ මැටි දිස්වෙන්නේය. හයිටියේ බෙහෝදෙනාගේ තුන් වේල නිමවෙන්නේ මේ ආහාරයෙන්ය.
මැටි කේක් යනු මේ පළාතේ සාම්ප්‍රදායික ආහාරයකි. බඩ දරු අම්මාවරු ආහාර අරුචියෙන් පසු වන්නේ බැවින් ඔවුනගේ ශරීරය අභ්‍යන්තරයේ ගින්න නිවනු වස් මේ ආකාරයට මැටි රොටි කෑමට දුන්නේය. එය සැබැවින්ම ඖෂධයක් විය. දැන් සමස්ත හයිටියේම ආහාරය බවට එය පත්ව ඇත.
සාගින්න පිළිබඳව දෙසා වදාරණ ගජබින්න තරම් මේ ඇත්ත රස නැත. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේදී මුහුණ දී ඇති ආහාර අර්බුදය විශාල ප්‍රමාණයකට බලපෑම් කළේ ආර්ථික අර්බුදයය. දැරිය නොහැකි ප්‍රමාණයක් දක්වා ආහාර උද්ධමනය පැමිණියේ හෙයින් හම්බුකරන සියල්ල, කෑමට වියදම් කරන තත්ත්වයට අප පත්ව ඇත්තේය. 2022 වසරේ වාර්තා අනුව ලොව ඉහළම ආහාර උද්ධමනයක් පවතින්නේ ලෙබනනයේය. සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය පිළිවෙළින් එහි දෙවන, තෙවන හා සිව්වැනි ස්ථාන හිමිකර ගෙන සිටියේය.
මේ ලිස්ට් එකේ ශ්‍රී ලංකාව සිටියේ අංක පහටය.
මේ කාලයේ ශ්‍රී ලංකාවේ නාමික ආහාර උද්ධමනය 91%කි. ලෙබනනයේ එය 332%කි. සිම්බාබ්වේදී එම අගය 309%ක් විය. වෙනිසියුලාව 155% සහ තුර්කිය 95% ක මට්ටමට ආහාර උද්ධමනය පවත්වාගෙන ගියේය.
2024 වසරේ මුල් සමය වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය 60%ක් පමණ විය. ඒ කියන්නේ අප ලබන ආදායමෙන් සියයට හැටක් වියදම් වන්නේ කෑමට බීමට බවය. මේ ආකාරයට කියුවාට ආහාර උද්ධමනය නොතේරෙන්නේ බැවින් ලෝකයේ ආහාර උද්ධමනය අඩුම රටවල් සමඟ ඒ පිළිබඳව සංසන්දනයක් කළ යුත්තේය. ස්විස්ටර්ලන්තය, ජපානය, ජර්මනිය, චීනය, කැනඩාව යන රටවල්හි ආහාර උද්ධමනය ඇත්තේ සියයට පහට වඩා අඩු මට්ටමේය.
මේ ගාණට නොව උපයන මුදලෙන් කාලක්, කෑමට බීමට වියදම් කරන තරමට පැමිණියහොත් අපට ඒ ගැන සතුටු විය හැක්කේය. ඒ ආකාරයට ආහාරයේ ප්‍රශ්නයෙන් අප පෙළෙන කල්හි සමහරුන්ගේ ආහාරය වී ඇත්තේ බදුය.
අර්ජුන් ජෝෂප් ඇලෝසියස් ඇතුළු නඩය ඊයේ ඇතුළට ගියේ වැට් බදු නොගෙවීම නිසාය. 2016 සහ 2019 අතර කාලය තුළ රජයට අය විය යුතු වැට් බදු මුදල වන රුපියල් බිලියන 3.5ක් හෙවත් රුපියල් කෝටි 355ක පොල්ලක් තැබීම හේතුවෙන් මේ ආකාරයට වැලිකඩ, කූරු ගැනීම සඳහා අර්ජුන් සහ සගයෝ ගියහ. වැට් බද්ද යන්න නිෂ්පාදකයා ගෙවන යමක් නොවේ. අප සබන් කැටයක් මිලට ගත් වන ඒ සඳහා වන වැට් බද්ද ද ඒ සමඟ මුදලාලි වෙත ගෙවන්නේය. මුදලාලි ද සබන් සමාගමට ඒ මුදල ලබා දෙන්නේය. මෙතැනදී සබන් සමාගම සිදු කරන්නේ කලෙක්ටර් වැඩේය. එම බදු එකතු කර රජය වෙත පියවීම සමාගමේ කාර්යය වන්නේය. ඒ ආකාරයට අරක්කු විකුණා ලබා ගත් වැට් බද්ද සාක්කුවේ දමාගෙන සිටීම අර්ජුන් සිදු කරන ලද වැරැද්දය. තමන් බදු නොගෙවා පැහැර හැරීම ද දරුණුය. අනුන් ගෙවා ඇති බදු සන්තකයේ තබාගෙන පරිහරණය ඊටත් වඩා දරුණුය. මේ සඳහා අභියාචනා අවස්ථාවක් ද නීතියේ නැත්තේ, වැඩේ ඒ තරමට වැරදි හෙයිනි.
අර්ජුන යන මේ නම චෝර කතා වස්තුන්හි සමස්තය සඳහා වූ කීර්තිනාමයකි. මහා භාරතයේ වීරයාට තිබූ නම ඇති මේ තෙමේ, එක් අවස්ථාවක එම නමම හිමි මාමා සමඟ බැඳුම්කර වංචාවක පැටලුණේය. එහෙ මෙහෙ වනා වැඩේ දේශපාලන හයියෙන් හේ යට ගසා ගත්තේය. ඒ අතර අරක්කු සමාගමක් ද මිලට ගත්තේය. ඒ සඳහා ද චෝදනා පොදියකි. දැන් වැට් බද්ද සාක්කුවේ දමාගෙන තිබේ. මේ ජාතියේ සමාජ පන්තියක්, දශක පහක පමණ සිට මේ රටේ රජ කරන්නේය. මේ රටේ සල්ලිකාරයෝ යන විරුදාවලිය යටතේ සැරිසරන්නේ ඔය පිරිසය. කිසිදු නිෂ්පාදන කර්මාන්තයක නැත. අතර මැද්දේ සිට කොමිස් ගන්නා පිරිසක් සහ මේ ආකාරයට වංචාවෙන්ම සියල්ල ගොඩනඟා ගත් පිරිසක් ලෙස ඔය පන්තියේ බහුතරය සැදුම් ලන්නේය. ඒ සඳහා ආරක්ෂකයෝ වූවෝ, දේශපාලනයේ සිටි මේ පිරිසේ ලොකු අයියලාය. එහෙයින් නඩු ද නොමැතිව ඕනෑම තත්ත්වයක් යටතේ ආරක්ෂිතව වාසය කිරීමේ හැකියාව ඔවුනට හිමිවිය. ඊයේ නඩුවෙන් ලැබුණු සංඥාව වූයේ ඒ යුගය අවසන් බවය.
රටේ වැසියෝ කුමක් හෝ බඩට දමා ගෙන දුක් විඳීම සඳහා, මේ චෞර වළල්ල ඍජු වගඋත්තරකරුවෝය. දැනට අධිකරණය, එක් අයෙක් සම්බන්ධයෙන් නඩුව අසා ඇත. මහජන අධිකරණය මේ පන්තිය සම්බන්ධයෙන්ම ළඟ ළඟම නඩුව විසඳනවා ඇත.