Home » සීලය බිඳෙන්නේ ලෝභ-ද්වේෂ මෝහ නිසයි

සීලය බිඳෙන්නේ ලෝභ-ද්වේෂ මෝහ නිසයි

-රාජාංගණයේ සුමනසාර හිමි

by sachintha
October 16, 2024 1:28 am 0 comment

සමාජය නමැති ගොහුරු මඩෙහි පිපුණු නෙළුමක් මෙන් සිල්වත් තැනත්තාගේ ජීවිතය බැබළීමට පත් වෙයි. දුසිරිතෙන් සෝදාපාළුවට ලක්වුණු පුද්ගල චරිත සමාජයෙහි යහපැවැත්ම සඳහා බාධාවක් වන්නා සේම සිල්වත් පුද්ගලයන්ගෙන් පොහොසත් සමාජයක වටිනාකම මෙතෙකැයි කිවනොහේ. වත්මන් සමාජය විෂයයෙහි පුද්ගලයා සීලයෙන් තම ජීවිතය සරසවා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳ මීගලෑව ශ්‍රී සුබෝධි විහාරස්ථානයේ විහාරාධිපති රාජාංගණයේ සුමනසාර ස්වාමීන් වහන්සේ සමඟ කළ දහම් සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියකි මේ.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, සීලය සරල බසින් පැහැදිලි කරන්නේ කෙසේද?

සීලය සරල බසින් පැහැදිලි කළොත් කයෙහි සහ වචනයෙහි සංවර බවයි. කයින් සිදු වන වැරදි තුනක් තිබෙනවා. ප්‍රාණඝාතය, අදත්තාදානය සහ කාම මිථ්‍යාචාරය. එනම් පරපණ නැසීම, අන් සතු දේ සොරකම් කිරීම සහ කාමයෙහි වරදවා හැසිරීමයි. වචනයෙහි සිදු වන වැරැදි ලෙස ගන්නේ බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම සහ සම්ප්‍රපලාපයි. කය සහ වචනයෙන් සිදු වන සියලු වැරැදිවලින් අත මිදීම සීලය යනුවෙන් හඳුන්වනවා. වර්තමාන සමාජය තුළ ඇතිව තිබෙන උත්තුංග මනුෂ්‍ය ධර්මවල හීනත්වය නිසා අද සීලය කියන වචනය නිතර ඉස්මතු වෙනවා. සමාජ පිරිහීම සිදුව තිබෙන්නේම කය සහ වචනයෙහි සංවරයක් නොමැති නිසයි.

සීලයට අයත් වන ප්‍රාණඝාතයෙන් වැළකීම සහ අවිහිංසාවාදය කියන කාරණා බුදුන් වහන්සේට සමකාලීන ශාස්තෘවරු මෙන් පසුකාලීනව බිහිවුණු ආගමික නායකයන් ද විවිධ ස්වරූපයෙන් විග්‍රහ කර තිබෙනවා නේද?

ගෞතම බුද්ධ ශාසනය ආරම්භ වීමටත් පෙර සිටම සීලය ආරක්ෂා කිරීම සිදු කළ බවට හොඳම උදාහරණය ලෙස සිදුහත් කුමාරයා මව් කුස තුළ පිළිසිඳ ගන්නාවිට මහාමායා දේවීන් වහන්සේ උපෝසථ අට්ඨංග සීලය සමාදන්ව සිටි බවට බුද්ධ චරිතාපදානය තුළ සඳහන් වන කරුණයි. ඒ වගේම නිගණ්ඨනාථපුත්තගේ ජෛන ආගමට අනුව සිය අනුගාමිකයන්ට පරම අවිහිංසාවාදයෙහි ඇති වැදගත්කම හුවා දක්වමින් ඒ අනුව විවිධ ව්‍රත පවා සමාදන් වූ බව කියැවෙනවා. එදා ඉන්දියානු සමාජය තුළ සෑම ආගමක්ම එකිනෙකා පරයා නැඟී සිටීමට ගත් වෑයමත් සමඟ ඇතැම් ශාස්තෘවරු බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම හා සංසන්දනය කරන්නට පටන් ගත්තා. එහෙත් බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට වදාළ සීලය සෙසු ආගමවලට වඩා පරම ගාම්භීර එකක්.

බුදු දහම තුළ පෙන්වා දෙන සීලය පැහැදිලි කරන්න?

බොහොමයක් ආගම්වල ඉගැන්වීම්වල තිබෙන්නෙ ප්‍රාර්ථනා කළ පමණින් ඕනෑම දෙයක් ලබා ගත හැකියි කියන එකයි. එහෙත් බුදු දහමේ එවැනි ඉගැන්වීමක් නෑ. බෞද්ධයා පරම අධිෂ්ඨානයෙන් හා අප්‍රතිහත වීර්යයෙන් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුයි. එම නිවන කරා ළඟා වීමට ප්‍රධානතම දොරටුවක් වෙන්නේ සීලයයි. බුදුන් වහන්සේ හඳුන්වා දුන් පංචශීලය පිළිබඳ මනා අවබෝධයක් බෞද්ධයා තුළ තිබෙනවා. පංචවිධ දුශ්චරිතයන් සිදු වන්නේ කොහොමද කියන අවබෝධය තුළිනුයි බෞද්ධයා එම දුශ්චරිතවලින් වැළකී පංචශීලය සමාදන් වන්නේ. පංචවිධ දුසිරිත් යම් පුද්ගලයකුගේ කයින් සහ වචනයෙන් සිදු වීමට පෙර කර්ම පථයක් නිර්මාණය වෙනවා. අන්න ඒ අවබෝධය බෞද්ධයා තුළ තිබෙනවා.

තවදුරටත් විග්‍රහ කළොත් ?

ප්‍රාණඝාතය පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කළේ තමාට උපමා කර අන්‍යයන්ගේ ජීවිත නසන්නට එපා කියන එකයි. අපි කවුරුත් මරණයට සහ දඬුවමට බයයි. අන්න ඒ වැටහීම තුළිනුයි බෞද්ධ ශ්‍රාවකයා අනෙකකුගේ ජීවිතයට හානි නොකර ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ. මේ අවබෝධය අන්‍යාගම්වල ගැඹුරින් විග්‍රහ කරන්නේ නෑ. ප්‍රාණඝාත අකුසලය සිදුවීමට කාරණා පහක් සම්පූර්ණ විය යුතුයි. පළමු කොට සතකු බව දැන ගත යුතුයි. දෙවැන්න පණ ඇති බව දැනගත යුතුයි. තුන්වැන්න මැරීමේ චේතනාවක් ඇතිවිය යුතුයි. සිවුවැන්න මැරීමට උපක්‍රමයක් යෙදිය යුතුයි. පස්වැන්න මරණය සිදු කළ යුතුයි. මේ කාරණා පහම සම්පූර්ණ වූ විටයි ප්‍රාණඝාතය නමැති අකුසලය සිදු වන්නේ. ඉහත අවස්ථා තුනෙන් එකක් හෝ ඛණ්ඩනය වුණොත් අකුසල කර්මයක් සිදු වීමට කර්ම පථයක් සැකසෙන්නේ නෑ. ඒ නිසා පංචශීලයෙහි කුමක් හෝ සිල් පදයක් තමන් අතින් කඩවීමට ඇති අවස්ථා මහත් පරිශ්‍රමයකින් හෝ මඟහරවා ගැනීමට බෞද්ධයාට අවකාශ සැලසෙන බව ගිහි බෞද්ධයා සිය නුවණින් දැන ඉන් ආරක්ෂා වෙනවා.

ඔබ වහන්සේ සිදු කළ එම අපූරු පැහැදිලි කිරීම තුළ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” සියල්ලටම චේතනාව හෙවත් සිත මුල් වෙන බවට වූ බුද්ධ දේශනාව මනාව කුළුගැන්වෙනවා. මේ පිළිබඳ පැහැදිලි කරන්න?

සිල් පදයක් ආරක්ෂා වෙන්නෙත්, කඩ වෙන්නෙත් පූර්ණ දැනගැනීමක් ඇති වුණොත් පමණයි. ඒ කියන්නේ චේතනාව මුල් විය යුතුමයි. යමෙක් අඹ ගෙඩියක් කඩා ගැනීමේ අරමුණින් අඹ ගසකට ගලක් ගහනවා. ඒ ගල වැදී ගසේ සිටි ලේනකු මැරෙනවා. එහෙත් ගල ගැසූ තැනැත්තාට ලේනකු මැරීමේ චේතනාව පහළ වුණේ නෑ. ඒ නිසා අකුසල කර්මයක් සිදු වීමට කර්ම පථයක් සැකසුණේ නෑ. දේවත්ත හාමුදුරුවෝ බුදුන් මැරීමේ අරමුණින් ගලක් පෙරළා බුදු සිරුරේ ලේ සෙලවීමේ ආනන්තරිය පාප කර්මය සිදු කර ගත්තා. එහෙත් තුවාලට ප්‍රතිකාර කළ ජීවක වෙදැදුරාට තුවාලට ප්‍රතිකාර කිරීමේ දී සිදු වූ ලේ වහනය නිසා එවැනි පාපකර්මයක් සිදු වන්නේ නෑ. ඒ අනුව සිත මුල් කරගෙන යම් යහපත් ක්‍රියාවක් කරයි ද එතැන සැප කර්මයක් නිර්මාණය වෙනවා. සිත මුල් කරගෙන අයහපත් කර්මයක් කරයි ද දුක් විපාකයක් සිද්ධ කර ගන්නවා. මේ අවබෝධය බෞද්ධ ශ්‍රාවකයා තුළ ඇති වන්නේ තමා තුළින්ම ඔප මට්ටම් කර ගන්නා ප්‍රඥාව තුළිනුයි.

සීලය නිවන් දොරටුවක් කර ගන්නේ කොහොමද?

නිවන සඳහා යන ගමනේ දී පළමුව සීලය වඩන ශික්ෂා පද යනු කුමක් ද යන්න දැන සිටිය යුතුයි. දෙවනුව සීලය කැඩෙන්නෙ කොහොමද යන්න දැන ගත යුතුයි. එනම් ලෝභ, ද්වේෂ සහ මෝහය නිසයි සීලය බිඳෙන්නේ. තෙවනුව සිල් ආරක්ෂා වීමට හේතු මොනවාද යන්න එනම් අලෝභය, අදෝෂය සහ අමෝහය තුළින් සිල් ආරක්ෂා වන බව දැන ගත යුතුයි. සිවුවැනියට සීලය රැකිය යුතු වැඩපිළිවෙළ කුමක්ද යන්න දැන සිටිය යුතුයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ අනුව ගොඩනැඟෙන පරිපූර්ණ සීලය වැවක බැම්මක් වැනියි. අතුරු සිදුරු නැති සීලයෙන් සාමාධියටත් සමාධියෙන් ප්‍රඥාවටත් යොමු වන විට එය නිවනට මඟපාදනවා. තමන්ගේ ජීවිතය නැතිවුණත් සිල් බිඳගන්නේ නෑ කියන පරම අදිටනයයි අවශ්‍ය වන්නේ.

ගෞරවනීය ස්වාමීන් වහන්ස, භික්ෂු සමාජය සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළ සීලය පැහැදිලි කරන්න?

භික්ෂූන් සඳහා වූ සීලයෙහි පළමු පියවර සාමණේර දස සීලයයි. එය පංචශීලයට වඩා සංකීර්ණයි. උපසම්පදා භික්ෂූන් වහන්සේට බුදුන් වහන්සේ හඳුන්වා දුන් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ වූ කෝටියක් සංවර සීලය ලෙස හඳුන්වනවා. භික්ෂුවකගේ සීලය බාහිරව නොමැනිය යුතුයි. සංසාරික පුරුදු උන්වහන්සේටත් සාධාරණයි. අද තමන්ගේ පන්සිල් ටික ආරක්ෂා කර ගැනීමට නොවෙහෙසන ගිහි සමාජය භික්ෂුවගේ සීලය ප්‍රශ්න කරනවා. සීලයෙන් පාරිශුද්ධ වූ පැවිදි උත්තමයකුට මතුපිටින් අල්ලා දුස්සීලයි කීම මහත් විපාක පිණිස හේතු වෙන බව සිහි තබා ගත යුතුයි.

සකුන්තලා ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT