Sunday, May 11, 2025
Home » සතුන්ට නොමිලේම ප්‍රතිකාර කරන ඉංගිරියේ හිමේෂ් දිල්ෂාන්

සතුන්ට නොමිලේම ප්‍රතිකාර කරන ඉංගිරියේ හිමේෂ් දිල්ෂාන්

by sachintha
October 16, 2024 1:27 am 0 comment

කිසිදු මුදල් අයකිරීමකින් තොරව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව විවිධ හේතූන් මත තුවාල වී හෝ අසරණව සිටින උරගයින්, සිවුපාවුන්, කුරුල්ලන් ඇතුළු ඕනෑම වර්ගයක සත්ත්වයකු හට ප්‍රතිකාර ලබාදී ඔවුන් සුදුසු ආරක්ෂිත පරිසරයන් හෝ ආයතන වෙතට භාරදෙන අපූරු චරිතයක් පිළිබඳ පුවතක් ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. නමින් හිමේෂ් දිල්ෂාන් නම් වූ මෙම තරුණයා 20 හැවිරිදි වියේ පසුවන අතර, ඉංගිරියට නුදුරු නිමලගම, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නිර්විෂ සර්පයින්ගේ සිට උග්‍ර විෂඝෝර නාගයින්, පොළඟුන් වැනි සතුන්ද ඇතුළුව ඔහු විසින් මේ වනවිට අල්ලා ඇති සර්පයින්ගේ ප්‍රමාණය 2500කට අධික වන අතර, පස් හැවිරිදි වියේ සිට විනෝදාංශයක් වශයෙන් ආරම්භ කර පවත්වාගෙන ආ මෙම කාර්යය මේ වනවිට ඔහුගේ ජීවිතයම බවට පත්ව ඇත.

විශේෂයෙන්ම නිවෙස් ආශ්‍රිතව ගැවසෙන නාගයින් වැනි විෂ සහිත සර්පයින් ඇල්ලීමට ඉංගිරිය අවට ජනතාව අතර මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම තරුණයා, මෑතකදී සිදු කළ අලුත්ම සද්කාර්යයන් වශයෙන් සඳහන් කළේ තුවාල වී සිටි ‘බොර කෙවුල් බකමූණෙකු’ සහ තණකොළ කැපීමට යොදාගන්නා යන්ත්‍රයකට හසුව තුවාල ලබා සිටි කැළෑ හාවෙකුගේ ජීවිතය බේරාගැනීම හා සම්බන්ධ සිද්ධීන් දෙකකි. අවශ්‍ය ප්‍රතිකාරවලින් පසු බොර කෙවුල් බකමූණා වනජීවී නිලධාරීන් වෙත භාරදුන් බවත්, තවමත් ප්‍රතිකාර ලබන කැළෑ හාවාද ඇතුළුව මේ වනවිට තම නි‍ෙවසෙහි නාගයින් පස් දෙනෙකුත්, විශාල ප්‍රමාණයේ පිඹුරෙකුත් සිටින බව හිමේෂ් දිල්ෂාන් පවසා සිටී.

ස්ථිර රැකියාවක නිරතවීමෙන් මෙම සතුන්ට පිහිටවීමේ කාර්යය සඳහා තමන්ට වේලාව අහිමිවීම සිදුවන බැවින් තමන් රැකියා විරහිතව සිටින බවත්, තමන්ගේම කියා කුඩා ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සියල්ල මුදල් මත පමණක් තීන්දු වන සමාජයක කිසිදු ආර්ථික ප්‍රතිලාභයකින් තොරව අසරණ සතුන් වෙනුවෙන් සිය දිවියම කැපකර ඇති මෙම අපූරු තරුණයා සැබවින්ම සියල්ලන්ටම ආදර්ශයකි.

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT