දුර්ලභ ගණයේ රත්හඳුන් ගසක් කපා බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලොරි රථයක් සහ එහි රියැදුරු ඇල්පිටිය අඩවි වන නිලධාරීන් පසුගිය 13 වැනිදා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් රත්හඳුන්කොට සහිත මේ ලොරිය එහි රියැදුරු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව නිදහස් කර තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් අඩවි වන නිලධාරී යෝගරත්නම් මහතා පෙරේදා (14) ප්‍රකාශ කළේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාවරුන්ගේ එකඟතාවලට අනුව ලොරිය සහ රියැදුරු නිදහස් කර තිබෙන බව ගාල්ල අඩවි වන නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය, දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අගලිය, පොල්ගහවිල, අංක 97/B ග්‍රාම නිලධාරී වසමේ රජයේ ඉඩමක මේ රත්හඳුන් ගස තිබූ බව පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි ද ඇල්පිටිය අඩවි වන නිලධාරී කාර්යාලය කියයි. මේ ගස පිහිටි ඉඩම රජයේ ඉඩමක් බවත්, එහි අනවසර පදිංචිකරුවකු මේ රත්හඳුන් ගස විකුණා තිබෙන බවත් අගලිය පොල්ගහවිල ප්‍රදේශවාසීහු කියති.
ජයකාන්ත ලියනගේ – බළපිටිය විශේෂ