Monday, May 5, 2025
Home » ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය වූ ධීවරයෙක් නාවික හමුදා සහායෙන් ගොඩබිමට ගෙනෙයි

ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය වූ ධීවරයෙක් නාවික හමුදා සහායෙන් ගොඩබිමට ගෙනෙයි

-ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට

by sachintha
October 16, 2024 3:29 am 0 comment

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගැඹුරු මුහුදේදී රෝගී වූ ධීවරයකු ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහාය ලබා දී තිබේ. ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 881ක් (කි.මී. 1631ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් වෙත ලබාගැනීමෙන් අනතුරුව ඊයේ (15) ගොඩබිමට රැගෙන විත් ප්‍රතිකාර සඳහා කොළඹ, ජාතික රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.

දික්ඕවිට ධීවර වරායෙන් අගෝස්තු මස 29 වන දින ධීවරයින් හයදෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “Sun City 02” නමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු, ධීවර කටයුතු සිදු කරමින් සිටියදී ආමාශයේ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසාධ්‍යව ඇති බවත් එම ධීවරයා වෙත ප්‍රතිකාර කිරීම සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර ඇත.

ඒ අනුව, එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ගොඩබිමට රැගෙන ඒම සඳහා සහය වන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් ‘MV – CCNI Andes’ නමැති විදේශීය නෞකාව‍‍ දැනුවත් කර තිබේ.

ඒ අනුව අසාධ්‍යව සිටි ධීවරයා ‘MV – CCNI Andes’ නෞකාව වෙත ලබාගැනීම සිදු කෙරුණු අතර, මූලික ප්‍රථමාධාර ලබාදෙමින් ඊයේ (15) කොළඹ වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා රෝගී ධීවරයා කඩිනමින් ගොඩබිමට රැගෙන විත් මෙලෙස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT