Monday, May 5, 2025
Home » ගල්වළවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිත භූමියේ අඩුපාඩු සකස් කර දෙන්න

ගල්වළවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිත භූමියේ අඩුපාඩු සකස් කර දෙන්න

-ප්‍රදේශවාසීහු ඉල්ලති

by sachintha
October 16, 2024 3:24 am 0 comment

මහර, ගල්වළවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිත භූමියේ වාසය කරන පුද්ගලයන්ගේ අනවසර ඉදිකිරීම් නිසා සුළු වර්ෂාවකදී පවා ප්‍රදේශය ජලයෙන් යට වීමේ අවදානමක් මතුව පවතින බව එහි වාසය කරන ජනතාව පවසති.

මහර, ගල්වළවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිත ප්‍රදේශයේ අක්කර හතහමාරක් පමණ විශාල ජලයෙන් පිරී ගිය ගල් වළක් ඇති අතර, විවිධ පුද්ගලයන් විසින් එයට කැළි කසළ බැහැර කිරීම නිසා එය අපවිත්‍ර වී ඇත. මීට අමතරව ප්‍රදේශය ආශ්‍රිතව ඇති කානු පද්ධතිය අවහිර වීම හේතුවෙන් ප්‍රදේශයේ මැසි මදුරුවන් බෝ වීමේ අවදානමක් මතුව පවතියි. මේ වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මෙම මහල් නිවාස යෝජනා ක්‍රමයේ නඩත්තු කටයුතු මහර ප්‍රාදේශීය සභාව මඟින් සිදු කරනු ලබයි. මෙම භූමිය ආශ්‍රිතව ඇති නිවාසවල ඇති වැසිකිළි වළවල් වැසි කාලයට උතුරා යාම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මහජන සෞඛ්‍යයට විවිධ බලපෑම් එල්ල වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මේ වන විට මෙම නිවාස යෝජනා ක්‍රමයේ එක් නිවෙසක් පර්චස් 2ක් හෝ 3ක් අතර ප්‍රමාණයක් යටතේ ඉදිකර ඇති අතර, එහි ඇති සමහර නිවාසවල ඉදිකිරීම් කටයුතු අවසන් කර නොමැත. මෙහි වාසය කරන ජනතාව වැඩි වශයෙන් කුලී වැඩ සහ වෙළෙඳාම් කටයුතු සිදු කර එදිනෙදා වියදම සොයා ගන්නා පුද්ගලයන් වන අතර, ඔවුන්ට වෙනත් ප්‍රදේශවල ඉඩම් මිලට ගෙන නව නිවාස ඉදි කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව ප්‍රදේශවාසී ජනතාව පෙන්වා දෙති.‍ ඒ අනුව මහර, ගල්වළවත්ත මහල් නිවාස යෝජනා ක්‍රමය ආශ්‍රිත භූමියේ පවතින අඩුපාඩු නිසි පරිදි සකස් කර දෙන ලෙසට ඔවුහු අදාළ අංශවලින් ඉල්ලා සිටිති.

මහර සමූහ – ගණිදු රෝචන සමරතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT