Home » ලෝක වාර්තාවක් සමඟ දරුණු පරාජයක් ඉන්දීය ක්‍රීඩිකාවෝ බඩු පොදි බැඳ ගෙදර යති
උඩ පන්දු 8ක් ගිලිහුණු පාකිස්තානයට

ලෝක වාර්තාවක් සමඟ දරුණු පරාජයක් ඉන්දීය ක්‍රීඩිකාවෝ බඩු පොදි බැඳ ගෙදර යති

by sachintha
October 16, 2024 1:45 am 0 comment

ලෝක කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ උඩ පන්දු 8ක් අත්හැර හා දුවද්දී දවා ගැනීමේ අවස්ථා 2ක් මඟ හරවාගෙන ලෝක වාර්තාවක් පිහිටවූ පාකිස්තාන කාන්තා පිලේ දරුණු පරාජයත් සමඟ ඉන්දියාව අවසන් පූර්ව වටයෙන් ඉවතට ගියේය. පාකිස්තානය හා නවසීලන්තය අතර පැවති තරගයෙන් නවසීලන්තය ලකුණු 54කින් ජය ගැනීමත් සමඟ ඉන්දියාවට මේ තත්ත්වය උදා වූවේය. යම් හෙයකින් පාකිස්තානය මේ තරගයෙන් ජය ලබා ගත්තේ නම් දළ ලකුණු වේගය අනුව ඉන්දියාවට අවසන් පූර්ව වටයට පැමිණීමේ ඉඩකඩක් තිබිණි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පෙරේදා රාත්‍රියේ පැමිණි ඉන්දියානු ප්‍රේක්ෂකයෝ සියලු එදිරිවාදිකම් පසෙකලා පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයට දිරි දුන්නද එම සියලු උත්සහයන් අපතේ ගියහ. පාකිස්තාන කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නරකම දස්කම් දැක්වූ තරගයක් නිමාවීමේ ප්‍රතිඵලය ලෙස ඉන්දීය ක්‍රීඩිකාවෝ ඊයේ නවදිල්ලි බලා ගමන් ඇරැඹූහ.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය ඕවර 20කදී කඩුලු 6ක් බිඳවැටී ලකුණු 110ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිමේදී පාකිස්තානය ඕවර 11. 4කදී ලකුණු 56කට සීමාවිය. පාකිස්තාන ක්‍රිකට් නායිකා ෆාතිමා සානා විසින්ම උඩපන්දු 4ක් අතහැර දැමූ අතර, ඒවායින් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට වාසනාව ගෙන දුන්නේය. පකිස්තාන ක්‍රිකට් නායිකා ෆාතිමා සානා තම පියාගේ හදිසි අභාවය හේතුවෙන් තරගාවලිය අතරතුරදී පාකිස්තානයට ගොස් තරගය පැවති දිනයේ පෙරවරුවේ යළි ඩුබායි වෙත පැමිණියාය.

මේ දුර්වල දස්කම් පිළිබඳ පාකිස්තාන හිටපු කාන්තා කණ්ඩායම් නායිකා සානා මිර් පැවසුවේ “වසර 15ක් ක්‍රීඩා කරලා මම කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ” යනුවෙනි.

නවසීලන්තය කඩුලු 6කට ලකුණු 110 (ඕවර 20)

සුසී බේට්ස් 28, ජෝජියා පිල්මර් 17, සොපී දෙව්නි 19, බෘෘක් හෙලිඩේ 22 (නසාරා සන්දු 18/3)

පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 56 (ඕවර 11.4) මුනාබ් අලී 15 (එඩන් කාර්සන් 7/2, අමෙලියා කර් 14/3)

ප්‍රින්ස් ගුණ­සේ­කර – ඩුබායි ක්‍රීඩාංගණයේ සිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT