වස්සානේ වස්සං උපගන්තුං, යන බුද්ධ නියමය අනුව උපසපන් භික්ෂූන් වහන්සේ, මේ සමයේ වස් සමාදන්ව වැඩ සිටිය යුත්තාහ. වප් පොහොයට පසු දා සිට, එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය වන්නේය. ආගමික අර්ථයෙන් ඒ ආකාරයට ආරම්භ වන්නාවූ, වප් කථනය සඳහා මුල් වෙන, වප් පුන් පොහොය දිනය අදය.
කඨින චීවර පූජාව යනු අට මහ කුසල් ගණයට අයත් වන්නාවූ පිංකමකි. ඒ හා මාහැඟි පිංකමක් සඳහා පාදක වන මේ පොහොය දින ද්වේශය වැපිරීමේ වුවමනාවක් මේ තීරුවට නොමැතිය. එසේ වුවද වැට් වංචාව සම්බන්ධයෙන් දෙවන දිනයටත් කතිකා කළ යුත්තේ, ඇලෝසියස් පන්නයේ තවත් චරිත ගණනාවක් සැඟව සිටින්නේ බැවිනි. පළමු කොට අප විභාග කළ යුත්තේ වැට් ආදායම මෙගා සමාගම් විසින් කොළේ වසා ගසනවා ද යන්නය. ගිණුම්කරණය නම් විෂයය ආරම්භ වන්නේ විනිවිද ආකාරයෙන් මූල්‍ය කටයුතු සිදු කිරීම සඳහාය. එසේ වෙද්දී මේ සමයේ ගිණුම්කරණයේ ප්‍රධාන කාර්යයභාරය වී ඇත්තේ කොළය වසා ගැසීමය.
ඒ ආකාරයෙන් ගිණුම් මඟින් සඟවා දමන ලද වැට් බදු ආදායම සඳහා නිරවුල්කරණයක් පළමුව අවශ්‍යය. ඕනෑම ආකාරයට ගිණුම් සාදාගෙන ඇවිත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ සමහරුන් අල්ලාගෙන වැඩේ ගොඩ දමා ගැනීම, ප්‍රධාන ව්‍යාපාර බොහොමයක යථා ස්වභාවය බැවින් මේ ආකාරයේ විගණනයක් සිදු විය යුත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ද ප්‍රශ්න කරමිනි.
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට්හි ආරම්භය සිදු වූයේ ප්‍රංශයේය. 1954 වසරේ ප්‍රංශයේ ආරම්භ වූ වැට්, ලංකාවට එන්නේ 2002 වසරේය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදීම, එකතුවන අගය මත අයකරන බද්ද අදියර කිහිපයකින් සමන්විත වන්නකි. ඒ සියලු අදියරහි අවසාන බර දරන්නා, පාරිභෝගිකයාය. භාණ්ඩ හා සේවා මත පටවන බද්ද කොහොමටත් අවසාන පරිභෝජකයා වෙත පැටවෙන්නේය. අප මිලදී ගන්නා කොස්ස සහ ඉදලේ ඇත්තේ කොහු කර්මාන්තයේ වියහියදම් ආදිය සහ ප්‍රවාහන ආදී පිරිවැය පමණක් නොවේ. අදාළ අංශ සඳහා වන ලාභ තීරු ආදියෙන් පසුව එයට බදු ආදිය ද එකතු වන්නේය. මේ සියල්ල අවසාන මිල ලෙස, පාරිභෝගික තෙමේ සිය සාක්කුවෙන් ලබාදුන් පසු භාණ්ඩය හෝ සේවාව වෙත ඔහුට හිමිකම් කිව හැක්කේය.
සංවර්ධිත රාජ්‍යයන් බරව ඇත්තේ ඍජු බදු ආදායම වෙතය. ඒවා ඉලක්කගත හිමියා වෙතින්ම අය කර ගත හැක්කේ බැවින් එය පොදු ජනයා වෙත සමස්ත බරක් පටවන්නේ නැත. සංවර්ධනය වෙමින් පවත්නා කැටගරියේ රටවල ඇති බදු ක්‍රමයේ අසාර්ථකත්වය නිසාම, වක්‍ර බද්ද සඳහා වැඩි ඉඩක් ලැබෙන්නේය. මේවා බදු සම්බන්ධ සාමාන්‍ය කරුණු වුවද නාය යන ස්ථානය හඳුනා ගත යුතු හෙයින් පාඨකයා වෙත මේ ස්ථාන පවා විස්තර කළ යුත්තේය.
ශ්‍රී ලංකාවේ සමස්ත බදු ආදායම 2023 වසරේදී රුපියල් ට්‍රිලියන 3.2ක ප්‍රමාණයේ විය. මෙයින් සෘජු බදු ලෙස 30% ද ඉතිරිය වක්‍ර බදු ලෙස ද අය වී තිබේ.
මෙයින් පෙනී යන්නේ, අපගේ බදු ආදායමේ ප්‍රධාන කුලුන බවට වක්‍ර බදු පත්ව ඇති ආකාරයය.
2023 වසරේදී ශ්‍රී ලංකාව, අගය එක් කරන බද්දෙන් ලැබූ ආදායම රුපියල් බිලියන 960ක පරිමාණයේ විය. 2022 වසරේදී වැට් අනුපාතය 8% සිට 15% දක්වා ඉහළ දැමීමත් සමඟ මෙම ආදායම වේගයෙන් වර්ධනය විය. එය රාජ්‍ය ආදායමේ විශාල පංගුවකට හිමිකම් කියන්නා සේම බදු වංගුකරුවන්ගේ රසවත්ම ආහාරය බවට ද පත්ව තිබේ.
මේ මොහොතේ ද බන්ධනාගාරයේ කුටියක ජම්පරය හැඳ බෙලෙක් පිඟානේ බත බුදින ඇලෝසියස් වනාහි ඒ සඳහා වන ළඟ ළඟ අප දකින ලද එක් අයෙක් පමණය. මේ රටේ ආර්ථිකය පත්ව ඇති විපිළිසරභාවය අනුව මේ ජාතියේ හොර නඩ, අපගේ බදු සාක්කුවේ දමාගෙන ඉදිරිපත් කරන නර්තනාංගය සඳහා ඉක්මනින් තිත තැබිය යුත්තේය. එය වනාහි වංචාවේ උපරිම ස්වරූපයකි. වැට් අප ගෙවා ඇත්තේය. ඒ, රජයට ලබාදෙනු පිණිස මිස, එම භාණ්ඩයේ නිෂ්පාදකයාගේ සාක්කුවට දමා ගැනීම සඳහා නොවේ.
2022 වසරේ ආර්ථිකයට ලැබිය යුතු සමස්ත බදු ආදායමෙන් බිලියන 101ක් අහිමිවී ගොස් ඇත්තේය. 2023 වසරේ මුල් කාර්තුව තුළ බදු ආදායම් වශයෙන් රුපියල් බිලියන 650ක් උපයා ගැනීමට සැලසුම් සකස් වන්නේ මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා ප්‍රකාරවය. එම කාල සීමාව තුළ රජයට උපයාගත හැකි වූයේ රුපියල් බිලියන 578ක් පමණක් වූයේ, බදු එකතු කිරීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා සහ නිසි යන්ත්‍රණයක් නොමැති වීම පමණක් නොවේ. මේ ආකාරයට වෙනත් හයියක් ඇතිව පිරිසක්, පොලු තැබීම හේතුවෙනි.
රජයට අය විය යුතු රුපියල් කෝටි 355ක වැට් ගෙවීම පැහැර හැර ඇති හෙයින් ඩබ්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකු ඇතුළට දැමීම හොඳ ආරම්භයකි. ඒ වැට් වංචා කිරීම සඳහාය. ඒ පරිදිම රජයට ජනතාව ගෙවනා ලද බදු අතේ තියාගෙන රෝල ගසා ගන්නා සහ සාක්කුවේ දමා ගත් තවත් පිරිසක් සිටිති. ඔවුන් ද මේ ආකාරයට මහ උළුගෙදරට දක්කා වැඩේ අවසානයක් කළ යුතුය. ඊළඟට සිටින්නේ සුරා බද්ද වංචා කරන ලද අරක්කු සමාගම්ය. අහිමිව ඇති සමස්ත බදු ආදායම බිලියන 101ක් බව සඳහන්ය. ඒ අතරින් බිලියන 26ක් සුරා බදු ආදායම් නොගෙවා සිටින සමාගම් දහය සාක්කුවේ දමාගෙන ඇත්තේය. මේ පිරිස සඳහා ඇලෝසියස් ගිය මාවතම සුදුසු බව වප් පෝය දිනයේ අපගේ කල්පනාවය.