එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1945 දී ප්‍රකාශයට පත් කරන ලද ලෝක ආහාර දිනය ඊයේට (16) යෙදී තිබුණි. ගිය වසරවලදී විවිධ රටවල් මුහුණ දුන් තත්ත්ව හමුවේ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතුය. ආහාර යනු මිනිසාගේ මූලික අවශ්යතාවන්ගෙන් එකකි. මිනිස් ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ ආහාරවලිනි. කුසගිනි නිවා ගැනීම සඳහාත්, සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහාත් ආහාර අවශ්‍ය වේ. පෝෂ්‍යදායි ආහාර වේලක් යනු සිරුරට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු වුණු සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කළ ආහාර වේලකි. සමබල ආහාර වේලක කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, විටමින්, මේදය, ඛනිජලවණ හා ජලය පෝෂක අන්තර්ගත වේ. සමබල ආහාර වේලක් ලබා ගැනීමෙන් ශරීරය වර්ධනය වීම, ශක්තිය ලැබීම හා ශරීරය රෝගවලින් ආරක්ෂා වීම සිදු වේ. සමබල ආහාර වේලක් නොගැනීම හරහා මිනිස් ශරීරය පහසුවෙන් රෝග හා ආසාදනවලට ගොදුරු වන අතර දරුවන්ට ශාරීරික හා මානසික සංවර්ධනයේ ගැටලු මෙන්ම අධ්‍යාපනයේ දුර්වලතා ඇති වේ.
දකුණු ආසියාතික රටවල 90%කට වඩා වැඩි පිරිසක් සමබල ආහාර වේලක් නොගනී. බොහෝ විට මේ සඳහා හේතු වී ඇත්තේ නොදැනුවත්කම හෝ වැරදි ආහාර රටාව හෝ මුදල් හිඟකමයි. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය හේතු කොටගෙන සමබල ආහාර වේලක් ලබා ගැනීමට තිබූ හැකියාව හීන වී ගොස් තිබේ. එදිනෙදා අවශ්‍ය වන එළවළු, පලතුරු හා පලා වර්ග තම ගෙවත්තේම සකසා ගැනීමට හැකියාව තිබේ නම් යම්තාක් දුරකට හෝ ආර්ථික වාසියක් ලබාගත හැකි වේ. නගරබද පුද්ගලයෙකුට ගෙවත්ත වෙනුවට ඒ සඳහා මල් පෝච්චි භාවිත කළ හැකි වේ. සමබල ආහාර වේලක ඇති වැදගත්කම ගැන නොදැනුවත් බොහෝ පිරිස් ක්ෂණික ආහාර පරිභෝජනයට හුරුව තිබේ. එය ඉතාමත් අයහපත් තත්ත්වයකි.
“සමබල ආහාර වේලක අඩංගු පෝෂක බොහෝමයක් ලබාගත හැකි වන්නේ සත්ත්ව ආහාර හරහාය”යන්න බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එහිදී නිර්මාංශ වීමෙන් තම සෞඛ්‍ය බරපතළ ලෙස අනතුරේ හෙළීමක් සිදුවේ යැයි බියක් ඔවුන්ට ඇතිවෙයි. නමුත් එය නිවැරදි නොවේ. සත්ත්ව ආහාරවලින් තොරව ශාක ආහාර හරහා ද පුද්ගලයකුට අවශ්‍ය පෝෂක 100%ක්ම පහසුවෙන් ලබාගත හැකිය. මිනිස් සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මොනයම් අයුරකින් හෝ ශරීරයට ලැබේ නම් පුද්ගලයෙක් නිර්මාංශ වුව ද කිසිම ගැටලුවක් ඇති නොවේ.
අතීතයේ පටන් ආහාර සම්බන්ධව දැක ගත හැකි ප්‍රබල ගැටලුවක් වන්නේ නාස්තියයි. මේ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී මන්දපෝෂණ තත්ත්වවලට පවා මුහුණපෑමට සිදු විය හැකිය. නිවෙසක දිනපතා සිදුවන ආහාර නාස්තිය වළක්වා ගැනීමෙන් ඉදිරි සතියකට ආහාර ඉතිරි කරගත හැකි වේ. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර පිසීම, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ආහාර බෙදාගැනීම, ආහාර පිසීමෙන් පසු කොටසක් පිරිසුදු භාජනයක අසුරා ශීතකරණයේ තැබීම යන ක්‍රමවේද හරහා ආහාර නාස්තිය අඩු කරගත හැකි වේ. වැරදි ආහාර පරිභෝජන රටාව හේතුවෙන් නොයෙකුත් රෝගාබාධවලට ගොදුරු වීමට වැඩි ඉඩකඩක් පවතී. විශේෂයෙන් ක්ෂණික ආහාර පාන වැඩි වශයෙන් පරිභෝජනය බෝ නොවන රෝග රාශියකට මූලික හේතුවයි. ජාන වෙනස් කළ ආහාර වර්ග, සකස් කරන ලද මස්, මත්පැන්, කල් තබා ගන්නා පැණිබීම වර්ග හා ක්ෂණික ආහාර වර්ග පරිභෝජනයේ අවසන් ප්‍රතිඵලය පිළිකා, කොලෙස්ටරෝල්, දියවැඩියාව වැනි රෝගයක් විය හැකිය. එබැවින් අප සියල්ලෝම නිවැරදි ආහාර රටාවකට හුරු වෙමින් නීරෝගි පරපුරක සාමාජිකයෝ වෙමු.
නිරාශා කල්හාරි
ජනසන්නිවේදන අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය