අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා සිදු කරන බවට සැක පිට හෝටලයක රැඳී සිටි විදෙස් ජාතිකයන් පිරිසක් පරිගණක යන්ත්‍ර 20ක්, රවුටර් 3ක් සහ ජංගම දුරකතන 282ක් සමග පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (15) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
ගෙවී ගිය දින 10 තුළ විදෙස් ජාතිකයන් 300කට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේය.
පෙරේදා 15 වන දින රාත්‍රී කාලයේ හලාවත පොලිස් වසමේ ඉරණවිල මාර්ගයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැක සහිත ලෙස ලැගුම් ගෙන සිටි මැලේසියානු ජාතික පිරිමි 4ක්, ඉතියෝපියානු ජාතික පිරිමි 3ක් හා කාන්තාවක, කෙන්යානු ජාතික කාන්තාවක හා චීන ජාතික පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.