විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සඳහා ආයතන සංග්‍රහය මඟින් ලබා දී තිබෙන අයිතිවාසිකම් ද කප්පාදු කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට විරෝධය දක්වා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ඒකාබද්ධ කරමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සැලසුම් කර තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලයේ සභාපති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
අනධ්‍යයන සේවකයන්ට ආයතන සංග්‍රහය මඟින් වසරකට එක් ගමන් වාරයකට පමණක් යටත් වන සේ ලබා දී තිබෙන දුම්රිය නිදහස් ගමන් බලපත්‍රය ලබාදීම රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රතික්ෂේප කිරීම දැඩි අසාධාරණයක් බව ද ඒ මහතා කීය.
මහනුවර දී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේ ද පැවසුවේය. දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර අයිතිය නීත්‍යනුකූල එකක්. එය කප්පාදු කිරීමට උපකුලපතිවරයාට කිසිදු අයිතියක් නැහැ. මේ වෙන විට ඉතා සාමකාමී තත්ත්වයක තියෙන මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මණ්‍ය කිරීමේ කූට සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද කියන බරපතළ සැකය අපිට තිබෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අනධ්‍යයන සේවකයින්ගේ ගැටලුවලට නිශ්චිත විසඳුමක් ලබා දෙන්න කියලයි.
මෙහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ඩී.ඒ.ඩී. සුරංජීව මහතා මෙසේ පැවසුවේය. ජනාධිපතිතුමා අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට පිරිසක් උත්සාහ කරනවාද කියන සැකය අපිට පහසුවෙන් බැහැර කරන්න බැහැ. මේ නිදහස් ගමන් බලපත්‍රය අහෝසි කිරීම සමස්ත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයටම බලපාන එකක්. මේ සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුන්නොත් දැනට සාමකාමීව පවතින විශ්වවිද්‍යල පද්ධතිය නැවතත් අර්බුදකාරී තත්ත්වයට පත්වීමට පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදිය යුතුයි. නැත්නම් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය ඒකාබද්ධ කර ලබන සතියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක යොමු වෙනවා.