සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ හා ඖෂධ වැනි අධි තාක්ෂණික කර්මාන්ත සඳහා අපනයන විවිධාංගීකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළයුතු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.
මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ 16 වැනි සභාපතිවරයා ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ දී ඊයේ (16) වැඩභාර ගත් අතර එහිදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වැඩ භාරගැනීමෙන් අනතුරුව නව සභාපතිවරයා අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් මෙසේ පැවසීය,
“අපි සිංගප්පූරුව සහ දකුණු කොරියාව වැනි රටවල් ආදර්ශයට ගනිමින් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඖෂධ වැනි අධි තාක්ෂණික කර්මාන්ත සඳහා අපනයන විවිධාංගීකරණය කර වැඩි අවධානයක් යොමු කළයුතු වෙනවා. තවත් වැදගත් සාධකයක් වන සේවා අපනයනය 2022 ට සාපේක්ෂව ඩොලර් බිලියන 3.1 ක ආදායමක් වාර්තා කර ඇති අතර එය ප්‍රධාන වශයෙන් ICT, ප්‍රවාහනය සහ ඉදිකිරීම් මඟින් මෙහෙයවනවා. නව රජයේ සැලැස්ම 2030 වනවිට ඩොලර් බිලියන 5 ක සේවා අපනයන ආදායමක් ලබා ගැනීමයි. ඒ වගේම එම ඉලක්කයට ළඟාවීමත් අපේ අරමුණයි.
විශේෂයෙන්ම අපනයන සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය විසින් කරන ලද කාර්යභාර්ය අගය කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා. සමහර විට, 2018 දී ක්‍රියාත්මක කරන ලද අපගේ ජාතික අපනයන උපායමාර්ගය සමාලෝචනය කිරීමට අපට අවශ්‍ය විය හැකියි. අපගේ අපනයනකරුවන් බහුවිධ ක්‍රියාකාරකම් ඇතුළත් සංකීර්ණ අනුමත ක්‍රියාවලීන්ට මුහුණ දී සිටිනවා. නව රජය සියලු රාජ්‍ය ආයතන සහ සේවාවන් ඩිජිටල් කිරීමට සහ අන්තර් සම්බන්ධ කිරීමට සැලසුම් කරනවා. එසේම අපනයන අංශයේ වර්ධනයට ඇති සියලු බාධක හඳුනාගෙන ඒවා ඉවත් කර අපනයනකරුවන් දිරිමත් කිරීමට මාර්ග සෙවිය යුතු වෙනවා.
අපගේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා අපගේ අපනයන කූඩයේ නිෂ්පාදන සංඛ්‍යාව සහ අපනයනකරුවන් සංඛ්‍යාව වැඩිකළ යුතු වෙනවා. ඒ නිසා අපි රජයේ සැලැස්ම සමඟ පෙළගැසිය යුතුයි. අපනයන ආදායම වැඩි කිරීම රජය ද අරමුණු කර ඇති බැවින් අපට මෙම ඉලක්කය සපුරා ගත හැකි යැයි බලාපොරොත්තු වෙනවා. අපි ඔවුන්ගේ උත්සාහයට සහාය දියයුතු වෙනවා.
දැනට තිබෙන ඒක පුද්ගල අපනයන ආදායම වැඩිකර ගැනීම, දැනට 99 වන ස්ථානයේ තිබෙන ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයයේ ශ්‍රී ලංකාව තවත් ඉදිරියට පැමිණිම සහ 2030 වසරේ දී අෙමරිකන් ඩොලර් බිලියන 30 ක අපනයන ආදායමක් ලබාගැනීම යන මූලික කාරණා තුන පිළිබද අපි විශේෂ අවධානයක් ඉදිරියේ දී යොමු කළයුතු වෙනවා. මම ඔබේ කැපවීම ගැන විශ්වාස කරනවා, ශ්‍රී ලංකාව තුළ දියුණු ජාතියක් ගොඩනැගීම සඳහා අපි කණ්ඩායමක් ලෙස කටයුතු කළයුතු වෙනවා”
අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩභාර ගැනීමට පෙර විජේසිංහ මහතා බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස කටයුතු කළේය. ඖෂධ, රසායනික ද්‍රව්‍ය, පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, කාර්මික ඉංජිනේරු විසඳුම් සහ දුරකතන තාක්ෂණය ඇතුළු විවිධ අංශයන්හි 25 වසරකට වැඩි ජ්‍යෙෂ්ඨ ප්‍රධාන කළමනාකරණ අත්දැකීම් ද ලබා ඇත.
විජේසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් සහ cardiff metropolitan විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි. එසේම ඔහු ශ්‍රී ලංකාවේ වරලත් වෘත්තීය කළමනාකරුවකු ද වන අතර, ව්‍යාපාර කළමනාකරණය සහ ආයතනික උපාය මාර්ග පිළිබඳ අත්දැකීම්වලින් සමන්විතයි. අපනයන සංවර්ධනයට අදාළ දේශීය හා ජාත්‍යන්තර සංගම් සමඟ විජේසිංහ මහතා ක්‍රියාකාරීව කටයුතු කර ඇති අතර අපනයන කර්මාන්තයේ බලපෑම් සහගත වෙනස්කම් ඇති කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඔහු පත්වීම ශ්‍රී ලංකාවේ අපනයන අංශයට නව බලාපොරොත්තුවක් ඇති කරයි.